YouVersion Logo
Search Icon

හෙබ්‍රෙව් 8

8
ක්‍රිස්තුස්වහන්සේගේ පූජකකම යුදෙව් පූජකකම්වලට වඩා උතුම් බව. උන්වහන්සේ අලුත් ගිවිසුමේ මැදහත්කාරයාව සිටින බව
1ඉතින් අප කියන දේවලින් ප්‍රධාන එක නම් ස්වර්ගවල මහෝත්තමයාණන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳගත්තාවූ, 2මනුෂ්‍යයා විසින් නොව ස්වාමීන්වහන්සේ විසින් පිහිටුවනලද ශුද්ධස්ථානයේ හා සැබෑවූ මණ්ඩපයේ සේවකයෙක්වූ උත්තම පූජකයෙක් අපට සිටින බවය. 3සියලු උත්තම පූජකයෝ පඬුරු සහ පූජා ඔප්පුකරන පිණිස පත්කරනු ලබති. එසේ හෙයින් පූජාකිරීමට මේ උත්තම පූජකයාටත් යමක් තිබෙන්ට ඕනෑය. 4එහෙත් ව්‍යවස්ථාව ප්‍රකාර පඬුරු ඔප්පුකරන්නන් සිටින බැවින් උන්වහන්සේ [තවමත්] පොළොවේ සිටිසේක් නම්, උන්වහන්සේට කිසිසේත් පූජකයෙක්ව සිටින්ට නුපුළුවන. 5මෝසෙස් මණ්ඩපය සාදන්ට යන කල: කන්දේදී නුඹට පෙන්වනලද ආදෘශය ලෙස සියල්ල සාදන්ට බලාගන්නැයි දෙවියන්වහන්සේ ආඥා කළ හැටියට, ඒ පූජකයෝ ස්වර්ගයවූ දේවල සටහනක්ව ඡායාවක්ව තිබෙන දෙයට සේවයකරති. 6නුමුත් දැන් උන්වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට පිහිටුවනලද්දාවූ වඩා හොඳ ගිවිසුමක මැදහත්කාර කෙනෙක්ව සිටින්නා සේම උන්වහන්සේ වඩා උතුම් සේවයක් ලැබූසේක. 7මක්නිසාද පළමුවෙනි ගිවිසුම නිදොස්ව තිබුණ නම්, දෙවෙනි එකකට ඉඩ සොයන්නේ නැත. 8එසේය, උන්වහන්සේ දොස් තබමින් ඔවුන්ට කථාකොට:
බලව, මා විසින් ඉශ්‍රායෙල් වංශය සහ යූදා වංශය සමඟ අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
9ඒ වනාහි මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා විසින් ඔවුන්ගේ අත අල්ලාගත් දවසේදී ඔවුන් සමඟ කළ ගිවිසුම මෙන් නොවේය;
මක්නිසාද ඔව්හු මාගේ ගිවිසුමෙහි නොපැවතුණෝය, මමද ඔවුන් නොසැලකුවෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
10එසේය, ඒ දවස්වලට පසු මා විසින් ඉශ්‍රායෙල් වංශය සමඟ කරන ගිවිසුම නම්:
මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිහියේ තබමින්, ඒවා ඔවුන්ගේ සිත්වලද ලියන්නෙමි.
මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟක් වන්නෝය.
11ස්වාමීන්වහන්සේ ඇඳිනගන්න කියා එකිනෙකා තම තමාගේ නුවර වැසියාටත් සහෝදරයාටත් නූගන්වන්නේය.
මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම මා ඇඳිනගන්නෝය.
12එසේය, මම ඔවුන්ගේ අධර්මිෂ්ඨකම් ගැන කරුණාකරන්නෙමි, ඔවුන්ගේ පව්ද තවත් සිහි නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි
කියා තිබේ. 13අලුත් ගිවිසුමක්යයි කීමෙන් පළමුවෙනි ගිවිසුම පරණකළසේක. ඉඳින් පරණවන්නාවු මහලුවන්නාවූ දෙය නොපෙනීයාමට ළඟය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in