YouVersion Logo
Search Icon

හෙබ්‍රෙව් 10

10
ව්‍යවස්ථාවට අයත් පූජාවල අසම්පූර්ණකම සහ ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවේ සම්පූර්ණකම
1මක්නිසාද ව්‍යවස්ථාව මතු පැමිණෙන යහපත් දේවල ඡායාවක් මිස නියම රූපයම නොවන බැවින්, ඔවුන් අවුරුදුපතා නිතර ඔප්පුකරන ඒ පූජාවලින්, ළඟාවෙන්නන් සම්පූර්ණකරන්ට කිසිකලක නුපුළුවන. 2පුළුවන් නම්, නමස්කාරකරන්නන් වරක් පවිත්‍රකරනලදුව, පව් ගැන ඔවුන්ට තවත් හැඟීමක් නැති බැවින්, ඒ පූජා ඔප්පු කිරීම නවතින්නේ නැද්ද? 3නුමුත් ඒ යාගවලින් අවුරුදුපතා පව් ගැන සිහිකිරීමක් ඇත්තේය. 4මක්නිසාද ගොනුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින් පව් පහකරන්ට නුපුළුවන. 5එහෙයින් උන්වහන්සේ ලෝකයට එන කල කථාකර:
ඔබ පූජාවටත් පඬුරටත් කැමති නොවී, ශරීරයක් මට සූදානම්කර දුන්සේක;
6මුළු දවන පූජාවලටත් පාප පූජාවලටත් ඔබ ප්‍රසන්න නුවූසේක.
7එවිට මම කථාකොට:
දෙවියන්වහන්ස, මෙන්න, (පොත් කාණ්ඩයේ මා ගැන ලියා තිබෙන ලෙස) ඔබගේ කැමැත්ත කරන්ට ඇවිත් සිටිමියි
කීසේක. 8ව්‍යවස්ථාවේ හැටියට ඔප්පුකරන පූජාවලටත් පඬුරුවලටත් මුළු දවන පූජාවලටත් පාප පූජාවලටත් ඔබ කැමතිවන්නේවත් සතුටුවන්නේවත් නැතැයි ඉහත කී පසු: 9මෙන්න, ඔබගේ කැමැත්ත කරන්ට මම ඇවිත් සිටිමියි උන්වහන්සේ කීසේක. උන්වහන්සේ දෙවෙනි එක පිහිටුවන පිණිස පළමුවෙනි එක අහක්කරනසේක. 10ඒ කැමැත්ත පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය එකම වරක් පූජාකිරීම කරණකොටගෙන අපි පිරිසිදුකරනු ලැබ සිටිමුව. 11තවද සියලු පූජකයෝ සිටගෙන, දවස්පතා සේවය කරමින්, කිසි කලෙකත් පාපය පහකරන්ට නොහැකිවූ එම පූජාවල් බොහෝ වර ඔප්පුකරති. 12නුමුත් මුන්වහන්සේ සෑම කලටම පව් නිසා එක පූජාවක් ඔප්පුකොට, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක. 13එතැන් පටන් තමන්ගේ සතුරන් තමන්ගේ පාපුටුව කරන තුරු උන්වහන්සේ බලාසිටිනසේක. 14මක්නිසාද උන්වහන්සේ පිරිසිදුකරනු ලබන්නන් එක පූජාවකින් සෑම කලටම සම්පූර්ණකළසේක. 15ශුද්ධාත්මයාණන්වහන්සෙත් අපට සාක්ෂිදෙමින්:
16ඒ දවස්වලට පසුව මා විසින් ඔවුන් සමඟ කරන ගිවිසුම නම්, මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිත්වල තබා, ඒවා ඔවුන්ගේ සිහියේ ලියන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කී පසු, උන්වහන්සේ කථාකොට:
17ඔවුන්ගේ පාපවල් සහ අධර්මිෂ්ඨකම් තවත් සිහි නොකරන්නෙමියි
කියනසේක. 18ඉඳින් ඒවාට කමාව තිබෙන තැන, පාපය ගැන පූජා ඔප්පුකිරීමක් තවත් නැත.
දෙවියන්වහන්සේගේ අභිමුඛයට ළඟාවීමේ අයිතිවාසිකම සහ පසුබටවීයාමේ මහත් වරද
19එබැවින්, සහෝදරවරුනි, යේසුස්වහන්සේ ස්වකීය මාංසය නමැති තිරය මැදින් අප උදෙසා කැපකළාවූ මාර්ගය වන අලුත්වූ ජීවමාන මාර්ගයකින්, 20උන්වහන්සේගේ ලේ කරණකොටගෙන ශුද්ධස්ථානයට ඇතුල්වීමට අපට නිදහස්කම තිබෙන බැවින්ද, 21දෙවියන්වහන්සේගේ ගෘහය කෙරෙහි අපට උතුම්වූ පූජකයෙක් සිටින බැවින්ද, 22නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු. 23අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක. 24තවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු. 25සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු.
26මක්නිසාද සැබෑව දැනගැනීම ලැබුවායින් පසු අපි කැමැත්තෙන්ම පව් කරමු නම්, 27විනිශ්චය ගැනත් විරුද්ධකාරයන් දවාදමන්ට යන උදහස් ගින්න ගැනත් භයානක බලාසිටීමක් මිස පව් ගැන තවත් පූජාවක් ඉතිරිව නැත. 28මෝසෙස්ගේ ව්‍යවස්ථාව සුළුකළ අය දෙදෙනෙකුගේ නොහොත් තුන්දෙනෙකුගේ සාක්ෂිය පිට කරුණාව නොලැබ මරනු ලබන්නේය. 29නුඹලා සිතන්නේ මොකද? දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පාගාදමා, තමා පිරිසිදුකළ ගිවිසුමේ ලේ අශුද්ධ දෙයක් කොට සිතා, අනුග්‍රහයේ ආත්මයාණන්වහන්සේට අපහාසකළ තැනැත්තා ඊට වඩා කොපමණ මහත් දඬුවමකට සුදුස්සෙක් කොට ගණන්ගනු නොලබන්නේද? 30මක්නිසාද: පළිගැනීම මට අයිතිය, මම්ම ප්‍රතිඵල දෙන්නෙමියි කියාද, ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ විනිශ්චයකරනසේක කියාද කී තැනන්වහන්සේ අපි දනිමුව. 31ජීවමානවූ දෙවියන්වහන්සේගේ අත්වලට අසුවීම භයානක දෙයක්ය.
32නුමුත් නුඹලා ආලෝකකරනු ලැබුවාට පසු නුඹලා දුක් නමැති මහත් පොරබැදීමක් ඉසුලුවාවූ පළමු දවස් සිහිකරන්න. 33එසේ වුණේ නින්දා සහ පීඩා කරණකොටගෙන පරිහාස හේතුවක් කරනු ලැබීමෙනුත්, එසේ කරනු ලැබූවන්ට හවුල්කාරයන් වීමෙනුත්ය. 34මක්නිසාද හිරකාරයන්ව සිටින්නන්ට නුඹලා අනුකම්පාව දැක්වූවා පමණක් නොව, වඩා උතුම්වූ පවතින්නාවූ වස්තුවක් නුඹලාට ඇති බව දැනගෙන, නුඹලාගේ දේපල කොල්ලකෑම ප්‍රීතියෙන් ඉවසුවහුය. 35එබැවින් මහත් විපාකයක් ඇත්තාවූ නුඹලාගේ නිසැකකම අත් නාරින්න. 36මක්නිසාද දෙවියන්වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල ඕනෑය.
37මක්නිසාද එන්නාවූ තැනන්වහන්සේ ප්‍රමාද නොවී, තව ඉතා ස්වල්ප කාලයකින් එනසේක.
38ඉඳින් මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේ.
නුමුත් ඔහු පසුබටවන්නේ නම්, මාගේ ආත්මය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත.
39නුමුත් අපි වනාහි විනාශවන ලෙස පසුබටවීමට නොව ප්‍රාණය ගැළවෙන ලෙස ඇදහීමට අයිතිවමුව.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for හෙබ්‍රෙව් 10