උත්පත්ති 25
25
ආබ්‍රහම්ගේ තවත් පුත්‍රයෝ. ඔහුගේ මරණය
1ආබ්‍රහම් තව භාර්යාවකු පාවාගත්තේය, ඇගේ නාමය කෙතුරාය. 2ඈ ඔහු නිසා ගිම්රාම්ද යොක්ෂාන්ද මෙදාන්ද මිදියාන්ද ඉෂ්බාක්ද ෂුවාද බිහිකළාය. 3යොක්ෂාන්ට දාව ෂෙබාද දෙදාන්ද උපන්නෝය. දෙදාන්ගේ පුත්‍රයෝ: අෂූරිවරුත් ලෙතුසිවරුත් ලෙයුම්මිවරුත්ය. 4මිදියාන්ගේ පුත්‍රයෝ: ඒඵාද ඒඵෙර්ද හනොක්ද අබීදාද එල්දායාද යන මොව්හුය. මේ සියල්ලෝ කෙතුරාගේ දරුවෝය. 5ආබ්‍රහම් තමා සන්තක සියල්ල ඊසාක්ට දුන්නේය. 6නුමුත් ආබ්‍රහම්ට සිටිය උප භාර්යාවන්ගේ පුත්‍රයන්ට ආබ්‍රහම් තෑගිදී ඔහු ජීවත්ව සිටි කල්හිම තමාගේ පුත්‍රවූ ඊසාක් කෙරෙන් ඔවුන් අහක්කර නැගෙනහිර දෙසට එනම් පෙරදිග රටට යන්ට හැරියේය. 7ආබ්‍රහම් ජීවත්ව සිටිය ඔහුගේ ජීවිතයේ අවුරුදු ගණන නම් එකසිය සැත්තෑ පස් අවුරුද්දකි. 8ආබ්‍රහම් හොඳ මහලු වයසේදී, වෘද්ධයෙක්ව, වයසින් පූර්ණව, ප්‍රාණය හැර නැසී තමාගේ සෙනඟට එකතුවුණේය. 9ඔහුගේ පුත්‍රයෝවූ ඊසාක්ද ඉෂ්මායෙල්ද මම්රේ ඉදිරියෙහි හිත්තීය ශොහර්ගේ පුත්‍රවූ එප්‍රොන්ගේ කෙතෙහි මක්පේලා ගුහාවෙහි ඔහු තැන්පත්කළෝය; 10ඒක ආබ්‍රහම් හෙත්ගේ පුත්‍රයන්ගෙන් මිලේට ගත්තාවූ කෙතය. එහි ආබ්‍රහම්ද ඔහුගේ භාර්යාවවූ සාරාද තැන්පත් කරනලද්දෝය. 11තවද දෙවියන්වහන්සේ ආබ්‍රහම්ගේ මරණින් පසු ඔහුගේ පුත්‍රවූ ඊසාක්ට ආශීර්වාද කළසේක; ඊසාක් බෙයර්-ලහයි-රොයි ළඟ වාසයකෙළේය.
ඉෂ්මායෙල්ගේ වංශය
12සාරාගේ දාසීවූ මිසරීය හාගර් ආබ්‍රහම් නිසා බිහිකළාවූ ආබ්‍රහම්ගේ පුත් ඉෂ්මායෙල්ගේ පරම්පරා නම් මේය. 13තම තමන්ගේ පරම්පරා ලෙස, නම් වශයෙන් ඉෂ්මායෙල්ගේ පුත්‍රයින්ගේ නාම නම්: ඉෂ්මායෙල්ගේ කුලුඳුලාවූ නෙබායොත්ය; කේදාර්, අද්බෙයෙල්, මිබ්සාම්, මිෂ්මා, දූමා සහ මස්සාය; හදද්, 14,15තේමා, යෙතුර්, නාඵීෂ් සහ කේදෙමාය. 16මොව්හු ඉෂ්මායෙල්ගේ ප්රත්රයෝය, මොවුන්ගේ ගම් සහ කඳවුරු ප්‍රකාරයට මොවුන්ගේ නම් මේය; මොව්හු ස්වකීය ජාති ප්‍රකාරයට අධිපතියෝ දොළොස් දෙනෙක් වූහ. 17ඉෂ්මායෙල්ගේ ජීවිතයේ අවුරුදු ගණන නම් එකසිය තිස් හත් අවුරුද්දක්ය. ඔහු ප්‍රාණය හැර නැසී තම සෙනඟට එකතුවුණේය. 18ඔව්හු හවිලාවේ පටන් අෂූර්ට යන මාර්ගයෙහි මිසරය ඉදිරියෙහි වූ ෂූර් දක්වා වාසයකළෝය. ඔහු තමාගේ සියලු සහෝදරයන් ඉදිරියෙහි විසීය.
ඊසාක්ගේ වංශය
19ආබ්‍රහම්ගේ පුත්‍රවූ ඊසාක්ගේ පරම්පරාව නම් මේය: ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය. 20ඊසාක් පදන්-ආරාමේ සිරිය බෙතුයෙල්ගේ දූවූ සිරිය ලාබන්ගේ සහෝදරීවූ රෙබෙකා තම භාර්යාව කොට පාවාගත් කල්හි හතලිස් අවුරුදු වයස් විය. 21ඊසාක් තමාගේ භාර්යාව වඳ බැවින් ඈ උදෙසා ස්වාමීන්වහන්සේට කන්නලව් කෙළේය. ස්වාමීන්වහන්සේ ඔහුගේ කන්නලව්ව පිළිගත්සේක, ඔහුගේ භාර්යාවවූ රෙබෙකා ගර්භිණී වූවාය. දරුවෝද ඇගේ කුසෙහි එකට දැඟලුවෝය. 22එවිට ඈ: මෙහෙම නම් මම මක්නිසා ජීවත්වෙම්දැයි කීවාය. ඈ ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස ගියාය.
23 ස්වාමීන්වහන්සේ:
නුඹේ කුසේ ජාති දෙකක් සිටිති, සෙනඟ දෙ වර්ගයක් නුඹේ උදරයෙන් බෙදී යන්නෝය.
එක් සෙනඟක් අනික් සෙනඟට වඩා බලවත් වන්නේය;
වැඩිමලා බාලයාට මෙහෙකරන්නේයයි
ඈට කීසේක. 24ඇගේ බිහිකරන කාලය සම්පූර්ණවූ කල, බලව, ඇගේ කුසෙහි දරු දෙදෙනෙක් වූවෝය. 25ප්‍රථමයා රතුව සහමුලින්ම රෝම වස්ත්‍රයක් මෙන් රෝමවලින් වැසී බිහිවිය; ඔහුට ඒසව් යන නාමය තැබුවෝය. 26ඊට පසුව ඔහුගේ සහෝදරයා බිහිවිය, ඔහු වනාහි තමාගේ අතින් ඒසව්ගේ විලුඹ අල්වාගෙන සිටියේය; ඔහුට යාකොබ් යන නම තබනලද්දේය. ඈ ඔවුන් බිහිකළ කල ඊසාක් සැට අවුරුද්දක් වයස්ව සිටියේය. 27දරුවෝ වැඩුණාහ. ඒසව් හපන් දඩයක්කාරයෙක්ව වනයේ මනුෂ්‍යයෙක්ව සිටියේය; යාකොබ් කූඩාරම්වල වසන නිශ්චල මනුෂ්‍යයෙක් විය. 28ඊසාක් ඒසව්ට ආදරේ වුණේය, මක්නිසාද ඔහු ඒසව්ගේ මුව මස් කෑයේය. එහෙත් රෙබෙකා යාකොබ්ට ආදරේ වුණාය. 29යාකොබ් කෑමක් පිසමින් සිටිය විට ඒසව් වනයේ සිට ක්ලාන්තව අවුත්: 30මම ක්ලාන්තව සිටිමි, එබැවින් ඔය රතුපාට කෑමෙන් ටිකක් මට දෙන්නැයි යාකොබ්ට කීය. එබැවින් ඔහුගේ නම ඒදොම් වූයේය. 31එවිට යාකොබ්: නුඹේ කුලුඳුල්කම අද මට විකුණන්නැයි කීය. 32ඒසව්ද: බලව, මම මරණාසන්නව සිටිමි. මේ කුලුඳුල්කමෙන් මට කවර ප්‍රයෝජනයක් වන්නේදැයි කීය. 33අද මට දිවුරුම් දෙන්නැයි යාකොබ් කීය; ඔහු යාකොබ්ට දිවුරුම් දී ඔහුගේ කුලුඳුල්කම යාකොබ්ට වික්කේය. 34එවිට යාකොබ් රොටිද කොල්ලු ව්‍යංජනද ඒසව්ට දුන්නේය; ඔහු කා බී නැගිට ගියේය. මෙසේ ඒසව් තමාගේ කුලුඳුල්කම සුළුකෙළේය.
Currently Selected:
උත්පත්ති 25: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society