YouVersion Logo
Search Icon

ගලාති 1

1
ආචාරය
1මනුෂ්‍යයන් කෙරෙන්වත් මනුෂ්‍යයා කරණකොටගෙනවත් නොව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු පියවූ දෙවියන්වහන්සේ කරණකොටගෙන ප්‍රේරිතයෙක් වන පාවුල් නම් මා විසින්ද, 2මා සමඟ සිටින සියලු සහෝදරයන් විසින්ද, ගලාතියේ සභාවලට ලියා එවන වග නම්: 3පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා. 4උන්වහන්සේ දැන් තිබෙන නපුරු ලෝකයෙන් අප ගළවන පිණිස අපගේ පියවූ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස අපේ පව් නිසා තමන්ම පාවාදුන්සේක. 5උන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ගෞරවය වේවා. ආමෙන්.
ගලාතිවරු ශුභාරංචියෙන් පසුබටවීම
6ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව කරණකොටගෙන නුඹලා කැඳවූ තැනන්වහන්සේ කෙරෙන් නුඹලා මෙපමණ ඉක්මනින් අන්‍ය ශුභාරංචියකට හැරී යනවාට මවිතවෙමි. 7සමහරු නුඹලා කලඹා, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පෙරළන්ට කැමතිවා මිස, ඒක වෙන ශුභාරංචියක් නොවේ. 8නුමුත් අප විසින් නුඹලාට ප්‍රකාශකළ ශුභාරංචිය හැර වෙන ශුභාරංචියක් අපවත් ස්වර්ගයෙන් දේවදූතයෙක්වත් නුඹලාට ප්‍රකාශකරතොත් ඔහු ශාපලද්දෙක් වේවා. 9නුඹලා පිළිගත් ශුභාරංචිය හැර වෙන ශුභාරංචියක් යමෙක් නුඹලාට දේශනාකරතොත් ඔහු ශාපලද්දෙක් වේවයි අප වරක් කී හැටියටම මම දැන් නැවතත් කියමි. 10ඉතින් මා විසින් සතුටු කරන්ට හදන්නේ මනුෂ්‍යයන්ද? නොහොත් දෙවියන්වහන්සේද? නොහොත් මා මනුෂ්‍යයන් ප්‍රසන්නකරන්ට සොයනවාද? මම තවම මනුෂ්‍යයන් ප්‍රසන්නකරම් නම් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක් නොවෙමි.
ප්‍රේරිත තැනගේ ශුභාරංචිය ස්වාමීන්වහන්සේගෙන්ම ලැබුණු බව
11ඉතින්, සහෝදරයෙනි, මා දේශනා කළාවූ ශුභාරංචිය වනාහි මනුෂ්‍ය ප්‍රකාරවූ එකක් නොවන බව නුඹලාට දන්වමි. 12මක්නිසාද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්කිරීමෙන් මිස මා එය මනුෂ්‍යයන්ගෙන් ලැබුවේවත් උගන්වනු ලැබුවේවත් නැත. 13මක්නිසාද මා පසුගිය කාලයේ යුදෙව්වරුන්ගේ ආගමෙහි හැසුරුණු අන්දම, එනම් දෙවියන්වහන්සේගේ සභාවට අප්‍රමාණ ලෙස පීඩාකොට එය නාස්තිකළ හැටි, නුඹලා ඇසුවහුය. 14මාගේ පියවරුන්ගේ පරම්පරාගත නියෝග ගැන අතිශයින් ජ්වලිතව සිටීමෙන්, මාගේ රටවැසියන් අතරේ මාගේ වයසේ බොහෝදෙනෙකුට වඩා යුදෙව්වරුන්ගේ ආගමේ වර්ධනයවුණෙමි. 15නුමුත් මවුකුස පටන් මා වෙන්කළාවූද තමන්ගේ කරුණාව කරණකොටගෙන මා කැඳෙවුවාවූද දෙවියන්වහන්සේ තමන්ගේ පුත්‍රයාණන්වහන්සේ ගැන අන්‍යජාතීන් අතරේ මා විසින් දේශනාකරන පිණිස, 16උන්වහන්සේ මා තුළෙහි ප්‍රකාශකරන්ට කැමතිවූ කෙණෙහිම, මාංසය හා රුධිරය සමඟ මන්ත්‍රණය නොකොට, 17මට පළමුවෙන් ප්‍රේරිතව සිටියවුන් ළඟට යෙරුසලමට නොගොස්, අරාබියට පිටත්ව ගොස්, නැවත දමස්කයට හැරී ආවෙමි.
18තවද තුන් අවුරුද්දකට පසු කේපස් දකින පිණිස යෙරුසලමට ගොස්, ඔහු සමඟ පසළොස් දවසක් නැවතී සිටියෙමි. 19නුමුත් ස්වාමීන්වහන්සේගේ සහෝදරයා වන යාකොබ් හැර අනික් ප්‍රේරිතයන්ගෙන් වෙන කවරෙකුවත් නුදුටිමි. 20මා නුඹලාට ලියා එවන මේ කාරණා සම්බන්ධව මා බොරු නොකියන බව, මෙන්න, දෙවියන්වහන්සේ ඉදිරිපිට කියාසිටිමි. 21පසුව සිරිය, කිලිකිය යන පළාත්වලට ආවෙමි. 22ක්‍රිස්තුස්වහන්සේ තුළවූ යුදයේ සභාවෝ ඒතාක්ම මාගේ මුහුණ දැක ඇඳිනගෙන නොසිටියෝය. 23වරක් අපට පීඩාකළ තැනැත්තා තමා විසින් වරක් නාස්තිකළාවූ ඇදහිල්ල දැන් දේශනාකරන්නේය යන ප්‍රවෘත්තිය පමණක් ඔවුන්ට ලැබුණේය. 24ඔව්හු මා ගැන දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.

Currently Selected:

ගලාති 1: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy