YouVersion Logo
Search Icon

ද්වීතීය කථාව 26

26
ප්‍රථම ඵල පුදකිරීම
1නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් පිණිස නුඹට දෙන දේශයට නුඹ පැමිණ ඒක හිමිකරගෙන එහි වසන කල්හි, 2නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන නුඹේ දේශයෙන් රැස්කරගන්නාවූ භූමියේ සියලු ඵලවලින් ප්‍රථම ඒවායෙන් ස්වල්පයක් රැගෙන පෙට්ටියක දමාගෙන, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයට යන්න. 3නුඹ ඒ දවස්වල සිටින පූජකයා ළඟට පැමිණ: ස්වාමීන්වහන්සේ අපට දෙන ලෙස අපේ පියවරුන්ට දිවුළ දේශයට මා ඇවිත් සිටිනවාය කියා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අද ප්‍රකාශකර සිටිමියි ඔහුට කියන්න. 4පූජකයා නුඹේ අතින් පෙට්ටිය ගෙන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය ඉදිරිපිට ඒක තබාවා. 5එවිට නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කථාකර: මාගේ පියාණෝ නැතිවෙන්ට ගිය අරාමියයෙක්ය, ඔහු ස්වල්පදෙනෙකුන් සමඟ මිසරයට ගොස් එහි වාසය කොට මහත්වූ බලවත්වූ ගණනින් බොහෝවූ ජාතියක් විය. 6මිසරවරුද අපට නපුරුකම් කරමින් අපට පීඩාකොට අප තද වහල්කමට පත්කළෝය. 7අපි අපේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මොරගැසීමුව, ස්වාමීන්වහන්සේ අපේ හඬ අසා, අපේ පීඩාවත් වෙහෙසත් හිරිහැරයත් බලා, 8බලවත් හස්තයකින්ද දිගුකළ බාහුවකින්ද මහත් භයංකරකමින්ද ලකුණුවලින්ද හාස්කම්වලින්ද අප මිසරයෙන් පිටතට පමුණුවා, 9මේ ස්ථානයට අප ගෙනවුත්, කිරිද මීපැණිද ගලා යන දේශයක් වන මේ දේශය අපට දුන්සේක. 10දැන් ස්වාමීන්වහන්ස, මෙන්න, ඔබ මට දී තිබෙන භූමියේ ඵලවලින් ප්‍රථම ඒවා ගෙනායෙමියි කියා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා තබා, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නමස්කාරකොට, 11නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹටද නුඹේ පවුලටද දුන් සියලු යහපත් දේ ගැන නුඹද ලෙවීයයාද නුඹලා අතරෙහි වසන විදේශියාද ප්‍රීතිවන්න.
12දසයෙන් කොටස දෙන අවුරුද්ද වන තුන්වෙනි අවුරුද්දේදී නුඹේ අස්වැන්නෙන් දසයෙන් කොටස් සියල්ලම නුඹ වෙන්කර තීන්දුකළ කල්හි, ලෙවීයයාද විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද නුඹේ නුවර දොරටු තුළදී කා තෘප්තියට පැමිණෙන පිණිස ඒවා ඔවුන්ට දී, 13නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කථාකොට: ඔබ විසින් මට අණ කළ ඔබගේ මුළු ආඥාව ලෙස පිරිනැමූ දේවල් මම මාගේ ගෙයින් වෙන්කොට ඒවා ලෙවීයයාටද විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද දුනිමි. ඔබගේ ආඥාවලින් කිසිවක් කඩනොකෙළෙමි, ඒවා සිහිනැතිනොකෙළෙමි. 14මාගේ දුකේදී එයින් කෑවේවත්, අපවිත්‍රකමේදී එයින් අහක්කළේවත්, මළ කෙනෙකු උදෙසා එයින් දුන්නේවත් නැත. මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කන්දී, ඔබ මට අණකළ සියල්ල ලෙස කෙළෙමි. 15ඔබගේ ශුද්ධ වාසස්ථානය වන ස්වර්ගයේ සිට බලා, ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටද ඔබ අපේ පියවරුන්ට දිවුළ ලෙස අපට දුන්නාවූ කිරි හා මීපැණි ගලා යන දේශයක්ව තිබෙන භූමියටද ආශීර්වාදකළ මැනවයි කියන්න.
16මේ පනත් හා විනිශ්චයවල් පවත්වන්ට අද දවසේදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකරනසේක. එබැවින් ඒවා නුඹේ මුළු සිතින්ද නුඹේ මුළු ආත්මයෙන්ද පවත්වන්ට බලාගන්න. 17නුඹ ස්වාමීන්වහන්සේ නුඹේ දෙවියන්වහන්සේ කොට පිළිගෙන උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේගේ පනත්ද ආඥාද විනිශ්චයන්ද පවත්වා උන්වහන්සේගේ හඬට කන්දෙන හැටියට අද පොරොන්දුවුණෙහිය. 18ස්වාමීන්වහන්සේද තමන්ගේ සියලු ආඥා නුඹ විසින් පවත්වන පිණිස තමන් සන්තක සෙනඟක් කොට නුඹට කී ලෙස නුඹ පිළිගන්ටත්, 19තමන් මැවූ සියලු ජාතීන්ට වඩා කීර්තියෙන්ද නාමයෙන්ද ගෞරවයෙන්ද නුඹ උසස්කරන්ටත්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කී ලෙස නුඹ තමන්වහන්සේට ශුද්ධවූ සෙනඟක් කරගන්ටත් අද නුඹට පොරොන්දුවූසේකැයි කීවේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy