YouVersion Logo
Search Icon

2 කොරින්ති 1

1
ආචාරකිරීම. සැනසීම සහ සුවපත්වීම ගැන ස්තුතිකිරීම
1දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්වූ පාවුල්ද අපගේ සහෝදරවූ තිමෝතියස්ද කොරින්තියෙහි තිබෙන දෙවියන්වහන්සේගේ සභාවටත් අකාය මුළුල්ලෙහි සිටින සියලු ශුද්ධවන්තයන්ටත් ලියා එවන වග නම්: 2අපේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා.
3දයාබර කරුණාවල පියවූද සෑම සැනසිල්ලේ දෙවිවූද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. 4අපි දෙවියන්වහන්සේගෙන් යම් සැනසිල්ලක් ලැබුවෙමුද, ඒ සැනසිල්ල කරණකොටගෙන කොයි පීඩාවක් නුමුත් විඳින්නන් සනසන්ට අපට පුළුවන්වන පිණිස උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනසනසේක. 5මක්නිසාද යම්සේ ක්‍රිස්තුස්වහන්සේගේ දුක්විඳීම් අප කෙරෙහි අධිකවන්නේද, එසේම ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අපගේ සැනසිල්ලත් අධිකවන්නේය. 6අපි පීඩා විඳිමු නම්, ඒ වනාහි නුඹලාගේ සැනසිල්ලත් ගැළවීමත් පිණිසය; අපි සැනසිල්ල ලබමු නම්, ඒ නුඹලාගේ සැනසිල්ල පිණිසය; ඒවා ඉෂ්ටවෙන්නේ අප විඳින දුක්ම නුඹලා විසිනුත් ඉවසීමෙන්ය. 7නුඹලා ගැන තිබෙන අපේ බලාපොරොත්තුව ස්ථිරව පවත්නේය; මක්නිසාද නුඹලා දුක්වලට පංගුකාරව සිටින ලෙසම සැනසීමටත් පංගුකාරවන බව අපි දනිමුව. 8එබැවින්, සහෝදරයෙනි, ආසියාවේදී අපට පැමිණි පීඩාව ගැන නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමුව. එනම් ජීවිතය ගැන පවා අපට බලාපොරොත්තුවක් නැති තරමට, උසුලන්ට බැරි පමණ, අප පිටට බර පැමුණුණ බවය. 9එසේය, මළවුන් නැගුටුවන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි මිස අප කෙරෙහිම විශ්වාස නොකරන පිණිස මරණ-තීන්දුව අප තුළේම තිබුණේය. 10උන්වහන්සේ මෙබඳු මහත් මරණයකින් අප ගැළෙවුසේක, මතුත් ගළවනසේක. උන්වහන්සේ තව දුරටත් අප ගළවනසේකැයි යන බලාපොරොත්තුව අප විසින් උන්වහන්සේ කෙරෙහි තබා තිබේ; 11නුඹලාත් එක්ව නුඹලාගේ කන්නලව් කරණකොටගෙන අප වෙනුවට උපකාර කරන්නහුය. එසේ කරන්නේ බොහෝදෙනෙකු කරණකොටගෙන අපට ලැබුණු දීමනාව නිසා අප වෙනුවට බොහෝ දෙනෙක් ස්තුතිකරන පිණිසය.
පාවුල්තුමාගේ පිරිසිදු අදහස්
12මක්නිසාද අපේ පාරට්ටුව නම් අපි වනාහි ලෝකයෙහිද විශේෂයෙන් නුඹලා කෙරෙහිද දිව්‍යවූ ශුද්ධකමින් හා අවංකකමින්, මාංසික ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ කරුණාවෙන්, හැසුරුණෙමුව යන අපේ හෘදයසාක්ෂියය. 13එසේය, නුඹලා කියවන්නාවූද ඒත්තුගන්නාවූද කාරණයන් හැර වෙන කාරණයන් නුඹලාට නොලියමුව, නුඹලා කෙළවර දක්වා ඒවා ඒත්තුගන්නහුයයි බලාපොරොත්තුවෙමි. 14අපි එසේ නුඹලාගේ පාරට්ටුවය කියා නුඹලාගෙන් සමහර දෙනෙක් අප ඒත්තුගත්තෝය; එමෙන්ම නුඹලාත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ දවසේදී අපේ පාරට්ටුව වන්නහුය.
ගමනක් කල්දැමීම
15මේ විශ්වාසයෙන් නුඹලාට දෙවනුත් අනුග්‍රහයක් ලැබෙන පිණිස පළමුවෙන් නුඹලා ළඟට ඇවිත්, 16නුඹලා වෙතින් මකිදෝනියට යන්ටද නැවත මකිදෝනියෙන් නුඹලා ළඟට ඇවිත් යුදයට යනගමනේදී නුඹලා විසින් ඇරලනු ලබන්ටද සිතට ගතිමි. 17ඉදින් මෙසේ සිතීමෙන් මම අස්ථිරලෙස ක්‍රියාකළෙම්ද? නොහොත් එසේය එසේය කියාත් නැත නැත කියාත් මා කියන පිණිස, මා අදහස්කරන දේ මාංසාකාරයෙන් අදහස් කරම්ද? 18නුමුත් දෙවියන්වහන්සේ විශ්වාසව සිටින සේම නුඹලා වෙතට පැමිණෙන අපේ වචනය එසේය කියාද නැත කියාද නොවේ. 19මක්නිසාද අප කරණකොටගෙන, එනම් මාද සිල්වානස්ද තිමෝතියස්ද යන අප විසින්, නුඹලා අතරෙහි දේශනාකරනු ලැබූ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එසේය කියාත් නැත කියාත් වූවා නොව උන්වහන්සේ තුළ එසේය කියා වේ. 20මක්නිසාද දෙවියන්වහන්සේගේ පොරොන්දු කොපමණ වුණත් උන්වහන්සේ තුළ එසේය කියා වේ. එහෙයින් අප කරණකොටගෙන දෙවියන්වහන්සේට ගෞරවය පැමිණෙන පිණිස, උන්වහන්සේ කරණකොටගෙන ආමෙන්ය කියාත් වේ. 21ඉදින් නුඹලා සමඟ අප ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථිරකරන්නෙත් අප ආලේපකළෙත් දෙවියන්වහන්සේය. 22උන්වහන්සේ අප මුද්‍රාකොට අපේ සිත් තුළ ආත්මයාණන්වහන්සේ නමැති අත්තිකාරම අපට දුන්සේක.
23මම කොරින්තියට නාවේ නුඹලා කෙරෙහි අනුකම්පාවෙන් බවට මාගේ ප්‍රාණය පිට දෙවියන්වහන්සේ සාක්ෂියක් කොට ගනිමි. 24එහෙත් නුඹලාගේ ඇදහිල්ල කෙරෙහි අපි බලය පවත්වනවා නොව නුඹලාගේ ප්‍රීතියට ආධාරකාරයෝව සිටිමුව.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in