මා බැලූ විට චණ්ඩ මාරුතයක් උතුරෙන් එනු මම දිටිමි. ඒ සමඟ දීප්තියෙන් වට වූ මහා වලාපටලයක් ද දිළිහෙන ලෝකඩ මෙන් ගින්න මැදින් බැබළීමක් ද ගිනි දලු විහිදෙන ගින්නක් ද වූයේ ය. සතුන්ගේ පෙනුම ඇති සතරදෙනෙක් ඒ මැද සිටියහ. ඔවුන්ගේ පෙනුම මෙසේ ය: ඔවුන්ට මනුෂ්‍ය ස්වරූප තිබුණේ ය. ඔවුන් එකිනෙකාට මුහුණු සතරක් ද පියාපත් සතරක් ද තිබිණි. ඔවුන්ට ඇද නැති පාද තිබිණි. ඔවුන්ගේ පාදවල පතුල් වස්සෙකුගේ පාද පතුල් වැනි ය; ඒවා දීප්තිමත් ලෝකඩ මෙන් දිළිසුණේ ය. ඔවුන්ගේ පියාපත් යට සතර පැත්තේ ඔවුන්ට මනුෂ්‍ය අත් තිබිණි. ඒ සතරදෙනාගේ මුහුණු හා පියාපත් මෙයාකාර ය: ඔවුන්ගේ පියාපත් එකට එක් වී තිබුණේ ය. ගමන් කරන විට ඔව්හු නොහැරී කෙළින් ඉදිරියට ගියහ.