ශු. ලූක් 1
1
ප්‍රාරම්භය
1අති උත්තමවූ තියෝපිලස්නි, පටන්ගැන්මේ සිට ඇසින් දුටුවාවුන් හා වචනයේ සේවකයන්ව සිටි අය විසින් අපට දන්වා දුන් ප්‍රකාරයට, 2අප අතරෙහි ඉෂ්ටවී තිබෙන කාරණා ගැන කථාවස්තුවක් රචනාකරන්ට බොහෝ දෙනෙකු විසින් පටන්ගෙන තිබෙන බැවින්, 3ඔබ යමක් ගැන ඉගනීම ලැබුයෙහිද ඒ කාරණාවල සත්‍යකම ඔබ විසින් දැනගන්නා පිණිස, 4මමත් මුල පටන් ක්‍රමයට සියලු කාරණා හරියාකාර විමසා බලා, ඒ දේ පිළිවෙළින් ඔබට ලියා එවීම සුදුසුයයි සිතුවෙමි.
යොහන් බව්තීස්තගේ උප්පැන්නය කලින් දැන්වීම
5යුදයේ රජවූ හෙරොද්ගේ කාලයේදී අබියාගේ පංතියෙහි සෙකරියස් නම් එක්තරා පූජකයෙක් සිටියේය. ඔහුට ආරොන්ගේ දූවරුන්ගෙන් භාර්යාවක් වූවාය, ඇගේ නම එලිසබෙත්ය. 6ඔවුන් දෙදෙනාම ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා හා නියෝගවල නිර්දෝෂව හැසිරෙමින්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨව සිටියෝය. 7එලිසබෙත් වඳ බැවින් ඔවුන්ට දරුවෙක් නොවීය, ඔවුන් දෙදෙනාම වයස්ගතව සිටියෝය.
8තවද ඔහු තමාගේ පංතියේ ක්‍රමය ලෙස දෙවියන්වහන්සේ ඉදිරියෙහි පූජක මෙහෙය කරන කල, 9ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුල්ව සුවඳ දුම් ඔප්පුකිරීමට වාරය පූජකයාගේ නිලයේ සිරිත ලෙස පසඇට දැමීමෙන් ඔහුට වැටුණේය. 10සුවඳ දුම් ඔප්පුකරන වේලාවේ මුළු සමූහයා යාච්ඤාකරමින් පිටත සිටියෝය. 11එවිට දුම් පූජාසනයට දකුණු පැත්තේ ස්වාමීන්වහන්සේගේ දූතයෙකු සිටිනවා ඔහුට පෙනුණේය. 12සෙකරියස් ඔහු දැක කැලඹී භයපත්වූයේය. 13නුමුත් දේවදූතයා ඔහුට කථාකොට: සෙකරියස්, භය නොවන්න. මක්නිසාද නුඹේ කන්නලව්ව අසනලද්දේය, නුඹේ භාර්යාවවූ එලිසබෙත් නුඹ නිසා පුත්‍රයෙකු බිහිකරන්නීය, ඔහුට යොහන් යන නම තබන්න. 14නුඹට ප්‍රීතියත් සන්තෝෂයත් වන්නේය; බොහෝ දෙනෙක් ඔහුගේ ඉපදීමට ප්‍රීතිවන්නෝය. 15මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උත්තමයෙක් වන්නේය, ඔහු මුද්‍රිකපානයවත් මද්‍යපානයවත් නොබොන්නේය; මවු කුස පටන්ම ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව සිටින්නේය. 16ඔහු ඉශ්රායෙල් පුත්‍රයන්ගෙන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හරවන්නේය. 17ඔහු පියවරුන්ගේ සිත් දරුවන් දෙසටත් අකීකරුවන් ධර්මිෂ්ඨයන්ගේ ඥානයෙහි හැසිරීමටත් හරවන පිණිසද, සූදානම්වූ සෙනඟක් ස්වාමීන්වහන්සේට පිළියෙළ කරන පිණිසද, එලියාගේ ආත්මයෙන්ද බලයෙන්ද උන්වහන්සේට පෙරටුව යන්නේයයි කීවේය. 18සෙකරියස්ද: මම මේක කුමකින් දැනගනිම්ද? මක්නිසාද මම මහල්ලෙක්ය, මාගේ භාර්යාවත් වයස්ගතයයි දේවදූතයාට කීවේය. 19දේවදූතයා උත්තරදෙමින්: මම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටින්නාවූ ගාබ්‍රියෙල්ය; නුඹ සමඟ කථාකරන්ටත් මේ යහපත් ආරංචිය නුඹ වෙත ගෙනෙන්ටත් එවනලද්දෙමි. 20බලව, නියම කාලයට සම්පූර්ණවන්නාවූ මාගේ වචන නුඹ විශ්වාස නොකළ බැවින්, මේ කාරණා සිදුවන දවස දක්වා, නුඹ කථාකරන්ට නොහැකිව නිශ්ශබ්දවන්නේහියයි කීවේය. 21සෙකරියස් එන තෙක් බලා සිටි සෙනඟ දේවමාළිගාවේ ඔහුගේ පමාවීම ගැන මවිතවූවෝය. 22ඔහු පිටත ආ කල ඔවුන්ට කථාකරන්ට ඔහුට බැරිවිය. ඔහු දේවමාළිගාවේදී දර්ශනයක් දුටු බව ඔව්හු දැනගත්තෝය; ඔහු ගොළුව ඔවුන්ට සංඥාකරමින් සිටියේය. 23තවද තමාගේ මෙහෙකිරීමේ දවස් සම්පූර්ණවූ කල ඔහු ස්වකීය ගෙදරට ගියේය.
24ඒ දවස්වලට පසු ඔහුගේ භාර්යාවවූ එලිසබෙත් ගර්භිණීව: 25මනුෂ්‍යයන් අතරේ වූ මාගේ නින්දාව පහකරන පිණිස ස්වාමීන්වහන්සේ මා දෙස බැලූ දවස්වලදී මට මෙසේ කරුණාකළසේකැයි කියා, පස් මසක් සැඟවී සිටියාය.
යේසුස්වහන්සේගේ උප්පැන්නය කලින් දැන්වීම
26සවෙනි මාසයේදී, ගලීලයේ නාසරෙත් නම් නුවරක විසූ, දාවිත්ගේ වංශයෙහිවූ යෝසෙප් නම් මනුෂ්‍යයෙකුට විවාහබස් දී සිටි, 27කන්‍යාවකු වෙතට දෙවියන්වහන්සේ වෙතින් ගාබ්‍රියෙල් නම් දූතයා යවනලද්දේය; ඒ කන්‍යාවගේ නාමය මරියාය. 28ඔහු ඈ සිටි තැනට පැමිණ: බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය, ශුභසිද්ධවේවා, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීවේය. 29නුමුත් ඈ ඔහුගේ කීමට බොහෝසේ කැලඹී, මේ කෙබඳුවූ ආචාරයක්ද කියා කල්පනාකරමින් සිටියාය. 30දේවදූතයා ඈට කථාකොට: මරියා, භය නොවන්න. මක්නිසාද නුඹට දෙවියන්වහන්සේගෙන් කරුණාව ලැබුණේය. 31බලව, නුඹ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නීය, උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න. 32උන්වහන්සේ උතුම්ව මහෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක. උන්වහන්සේගේ පියවූ දාවිත්ගේ සිංහාසනය දෙවිවූ ස්වාමීන්වහන්සේ උන්වහන්සේට දෙනසේක. 33උන්වහන්සේ යාකොබ්ගේ වංශය කෙරෙහි සදාකාලේටම රජකම්කරනසේක; උන්වහන්සේගේ රාජ්‍යය කෙළවර නොවන්නේයයි කීයේය. 34එවිට මරියා දේවදූතයාට කථාකොට: මා පුරුෂයෙකු නෑඳින සිටින බැවින්, මේක වෙන්නේ කෙසේදැයි කීවාය. 35දේවදූතයා ඈට උත්තරදෙමින්: ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹ කෙරෙහි පැමිණෙනසේක, මහෝත්තමයාණන්ගේ ආනුභාවද නුඹ වසාගන්නේය. ඒ නිසා උපදින්ට සිටින තැනැත්තේ ශුද්ධය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක. 36බලව, නුඹට නෑවූ එලිසබෙත් ඇගේ මහලු වයසේදී පුත්‍රයෙකු පිළිසිඳ ඉන්නීය. වඳීයයි කියන ලද ඈට දැනට සවෙනි මාසයය. 37මක්නිසාද දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක් බල රහිත නොවන්නේයයි කීවේය. 38මරියාද: බැලුව මැනව, ස්වාමීන්වහන්සේගේ දාසීය; ඔබගේ වචනය ලෙස මට වේවයි කීවාය. එවිට දේවදූතයා ඈ කෙරෙන් ගියේය.
මරියා එලිසබෙත් බලන්ට යෑම. මරියාගේ ප්‍රශංසා ගීය
39ඒ දවස්වලදී මරියා නැගිට කඳු රට කරා, යුදයේ නුවරකට, වහාම ගොස්, 40සෙකරියස්ගේ ගෙට ඇතුල්ව, එලිසබෙත්ට ආචාරකළාය. 41එලිසබෙත් මරියාගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා පැන නැංගේය. එවිට එලිසබෙත් ශුද්ධාත්මයෙන් පූර්ණව, 42මහත් ශබ්දයකින් හඬනගා කියන්නී: නුඹ ස්ත්‍රීන් අතරෙහි ආශීර්වාදලද්දීය, නුඹේ ගර්භයේ ඵලයද ආශීර්වාදලද්දේය. 43මාගේ ස්වාමීන්වහන්සේගේ මෑණියන් මා ළඟට පැමිණීම කෙසේ සිද්ධවීද? 44මක්නිසාද නුඹේ ආචාර ශබ්දය මාගේ කන්වල වැටුණු කෙණෙහිම, මාගේ කුසෙහි දරුවා ප්‍රීතියෙන් පැන නැංගේය. 45විශ්වාසකළ තැනැත්තී ආශීර්වාදලද්දීය; මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙන් ඈට කියනලද දේ සම්පූර්ණවන්නේයයි කීවාය. 46එවිට මරියා කියන්නී:
මාගේ සිත ස්වාමීන්වහන්සේ වර්ණනා කෙරෙයි,
47මාගේ ආත්මයද මාගේ ගැළවුම්කාර දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්විය.
48මක්නිසාද උන්වහන්සේ ස්වකීය දාසියගේ පහත්කම බැලූසේක.
බලව, මෙතැන් පටන් සියලු පරම්පරාවෝ මට ආශීර්වාදලද්දීයයි කියන්නෝය.
49මක්නිසාද බලවත්වූ තැනන්වහන්සේ මට මහත් දේ කළසේක;
උන්වහන්සේගේ නාමය ශුද්ධය.
50උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේට භයවන්නන් කෙරෙහි පරම්පරාවෙන් පරම්පරාවට පවතියි.
51උන්වහන්සේ ස්වකීය බාහුවෙන් බලය පෑසේක;
තමුන්ගේ සිත්වල කල්පනාවෙන් අහංකාරීවූ අය විසිරෙවුසේක.
52උන්වහන්සේ අධිපතීන් සිංහාසනවලින් හෙළා,
පහත් අය උසස්කළසේක.
53බඩගිනිවූවන් යහපත් දෙයින් තෘප්තියට පමුණුවා, වස්තුකාරයන් හිස් අතින් හැරිය සේක.
54උන්වහන්සේ අපේ පියවරුන්ට කී ලෙස, ආබ්‍රහම්ටද ඔහුගේ වංශයටද
55සදාකල්ම ස්වකීය කරුණාව සිහිකරන අදහසින්, තමන් මෙහෙකරුවූ ඉශ්රායෙල්ට පිහිටවූසේකැයි කීවාය.
යොහන් බව්තීස්තගේ උප්පැන්නය. සෙකරියස්ගේ ගීය
56මරියා ඈ සමඟ තුන් මසක් පමණ වාසයකොට, තමාගේම ගෙදරට හැරී ගියාය.
57එලිසබෙත්ගේ බිහිකරන කාලය සම්පූර්ණවූ කල ඈ පුත්‍රයෙකු බිහිකළාය. 58ඇගේ අසල්වාසියෝද නෑයෝද ස්වාමීන්වහන්සේ ඈ කෙරෙහි ස්වකීය කරුණාව විශාලකළ බවඅසා, ඈ සමඟ ප්‍රීතිවූවෝය. 59තවද අටවෙනිදා දරුවා චර්මඡේදනයකරන පිණිස ඔව්හු ඇවිත්, ඔහුගේ පියාගේ නාමය ලෙස ඔහුට සෙකරියස්යයි නම් තබන්ට හැදුවෝය. නුමුත් ඔහුගේ මවු උත්තරදෙමින්: 60එසේ නොවේ; ඔහුට යොහන් යන නාමය තබන්ට ඕනෑයයි කීවාය. 61නුඹේ නෑයන් අතරේ මේ නාමය ඇති කෙනෙක් නැතැයි ඔව්හු ඈට කීවෝය. 62ඔහුගේ පියා ඔහුට මොන නමක් තබන්ට කැමැත්තේද කියා දැනගන්නා පිණිස ඔව්හු ඔහුට සංඥාකළෝය. 63ඔහු ලියන ලෑල්ලක් ඉල්ලාගෙන: ඔහුගේ නම යොහන්යයි ලියුවේය. සියල්ලෝද මවිතවූවෝය. 64එකෙණෙහිම ඔහුගේ මුඛය ඇරී, දිවද ලිහී, ඔහු දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්, කථාකළේය. 65ඔවුන් අවට විසූ සියල්ලන් කෙරෙහි භය පැමිණියේය. මේ සියලු කීම් යුදයෙහි මුළු කඳු රටේ පතළවී ගියේය. 66ඒ ඇසූ සියල්ලෝ ඒ දේ තමුන්ගේ සිත්වල තබාගෙන: එසේ නම් මේ දරුවා කෙබඳු කෙනෙක් වන්නේදැයි කීවෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හස්තය ඔහු සමඟ වූයේය.
67ඔහුගේ පියවූ සෙකරියස් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව අනාගතවචන කියමින්:
68ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා;
මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟ බලා, ඔවුන්ට මිදීම සාදා දුන්සේක.
69ලෝකයේ පටන්ගැන්මෙහි සිට විසූ ස්වකීය ශුද්ධවූ අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් කියෙවු ලෙස
70අපේ සතුරන්ගෙන්ද අප කෙරේ වෛර බැඳගත් සියල්ලන් අතින්ද
71අප ගළවන්නාවූ අඟක් තමන් දාසවූ දාවිත්ගේ වංශයෙන් අපට නැගුටුවාදුන්සේක.
72මෙසේ උන්වහන්සේ අපේ සතුරන්ගේ අත්වලින් අප ගළවා, අපේ සියලු දවස්වල භයක් නැතුව උන්වහන්සේ ඉදිරියෙහි ශුද්ධකමින්ද ධර්මිෂ්ඨකමින්ද
73උන්වහන්සේට සේවයකරන්ට වරදෙන පිණිස,
74අපේ පියවූ ආබ්‍රහම්ට දිවුළ දිවිරීම වන
75තමන්ගේ ශුද්ධවූ ගිවිසුම සිහිකොට, අපේ පියවරුන්ට කරුණාව පෙන්වනසේක.
76එසේය, දරුව, නුඹ මහෝත්තමයාණන්ගේ අනාගතවක්තෘයයි කියනු ලබන්නෙහිය.
මක්නිසාද නුඹ ස්වාමීන්වහන්සේගේ මාර්ග පිළියෙළකරන්ට,
77එනම් අපේ දෙවියන්වහන්සේගේ දයාබරකම කරණකොටගෙන උන්වහන්සේගේ සෙනඟට පව් කමාවීමෙන් ලැබෙන ගැළවීම දන්වන්ට,
78උන්වහන්සේට පෙරටුව යන්නෙහිය.
ඒ දයාබරකමෙන් අඳුරෙහිද මරණ සෙවණෙහිද සිටින්නන්ට එළිය දෙන පිණිසත්,
79අපේ පාද සමාදාන මාර්ගයට පමුණුවන පිණිසත්, ඉහළින් අරුණාලෝකය අප කරා පහළවන්නේයයි කීයේය.
80දරුවා වැඩී, ආත්මයෙන් ශක්තිමත්ව, ඉශ්රායෙල්ට තමා ප්රකාශවන දවස දක්වා වනාන්තර ස්ථානවල සිටියේය.
Цяпер абрана:
ශු. ලූක් 1: SROV
Пазнака
Падзяліцца
Капіяваць

Хочаце, каб вашыя адзнакі былі захаваны на ўсіх вашых прыладах? Зарэгіструйцеся або ўвайдзіце
Ceylon Bible Society