උත්පත්ති 31
31
යාකොබ් කානාන් දේශයට හැරී ඊම
1යාකොබ් අපේ පියා සන්තකවූ සියල්ලම පැහැරගත්තේය; අපේ පියාට තිබුණු දෙයින් මේ සියලු සම්පත ඔහු ලබාගත්තේයයි ලාබන්ගේ පුත්‍රයන් කී වචන යාකොබ්ට ඇසුණේය. 2ලාබන්ගේ මුහුණ තමා කෙරෙහි ඉස්සර වාගේ ප්‍රිය නැති බව යාකොබ් දුටුවේය. 3නුඹේ පියවරුන්ගේ දේශයටද නුඹේ නෑයන් වෙතටද හැරී යන්න; මම නුඹ සමඟ සිටින්නෙමියි ස්වාමීන්වහන්සේ යාකොබ්ට කීසේක. 4යාකොබ් රාඛෙල් සහ ලෙයා කෙතෙහි තමාගේ රැළ ළඟට ගෙන්වාගෙන: 5නුඹලාගේ පියාගේ මුහුණ මා කෙරෙහි පළමු ලෙස නොවන බව මට පෙනේ; එහෙත් මාගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ මා සමඟ සිටිසේක. 6මා විසින් මාගේ මුළු ශක්තියෙන් නුඹලාගේ පියාට මෙහෙකළ බව නුඹලා දන්නහුය. 7නුඹලාගේ පියා මා රවටා මාගේ කුලී දසවරක් වෙනස් කෙළේය; එහෙත් මට හිංසාවක් කරන්ට දෙවියන්වහන්සේ ඔහුට ඉඩ නුදුන්සේක. 8ලප ඇතිවුන් නුඹේ කුලී වන්නේයයි ඔහු කී කල, මුළු රැළ ලප ඇතිවුන් බිහිකළෝය. රේඛා ඇතිවුන් නුඹේ කුලී වන්නෙහියයි කී කල, මුළු රැළ රේඛා ඇතිවුන් බිහිකළහ. 9මෙසේ දෙවියන්වහන්සේ නුඹලාගේ පියාගේ ගවයන් අරගන මට දුන්සේක. 10තවද රැළ ගැබ්ගත් කාලයේදී හීනයකින් මම මාගේ ඇස් ඔසවා බලා උන් පිට නගින එළුවන් රේඛාද ලපද තිත්ද ඇතිවුන් බව දුටිමි. 11එවිට දෙවියන්වහන්සේගේ දූතයා: යාකොබ් කියා හීනයෙන් මට කීසේක. මම මෙහියයි කීයෙමි. 12උන්වහන්සේ: දැන් නුඹේ ඇස් ඔසවා බලව, සිව්පා රැළ පිට නගින සියලු එළුවෝ රේඛාද ලපද තිත්ද ඇති සත්තුය. මක්නිසාද ලාබන් නුඹට කරන සියල්ල දුටුවෙමි. 13මම වනාහි නුඹ කණුවක් ආලේපකර භාරයක් වුණු ස්ථානය වූ බෙතෙල්හිදී ප්‍රකාශවූ දෙවියන්වහන්සේය. ඉතින් නැගිට මේ දේශයෙන් පිටත්ව නුඹ උපන් රටට හැරී යන්නැයි කීසේකැයි කීය. 14එවිට රාඛෙල්ද ලෙයාද උත්තරදෙමින්: තවත් අපගේ පියාගේ ගෙයි අපට කොටසක්වත් උරුමයක්වත් ඇද්ද? 15ඔහු අප ආගන්තුකයන් මෙන් සලකනවා නොවේද? මක්නිසාද ඔහු අප විකුණා අපේ මිලද සහමුලින් නැතිකරදැම්මේය. 16දෙවියන්වහන්සේ අපගේ පියාගෙන් පැහැරගත් සියලු වස්තුව අපටත් අපේ දරුවන්ටත් අයිතිය. ඉතින් දෙවියන්වහන්සේ ඔබට කී සියල්ල කරන්නැයි ඔහුට කීවෝය. 17එකල යාකොබ් නැගිට තම පුත්‍රයන් සහ භාර්යාවන් ඔටුවන් පිට නංවා, 18තමාගේ සියලු සිව්පාවන්ද පදන්-අරාමේදී තමා සම්බකරගත් සියලු සම්පත්ද තමා ලබාගත් සියලු සිව්පාවන්ද රැගෙන, කානාන් දේශයට තමාගේ පියවූ ඊසාක් වෙතට යන පිණිස ගියේය. 19එකල ලාබන් බැටළුවන්ගේ ලෝම කපන පිණිස ගොස් සිටියේය. රාඛෙල් ඇගේ පියාට අයිති දේවතා රූප සොරකම්කරගත්තාය. 20යාකොබ් තමා පලා යන බව අරාමියවූ ලාබන්ට නොකියා ඔහුට නොදන්වා සොරෙන් ගියේය. 21මෙසේ ඔහු තමා සන්තක සියල්ල රැගෙන පලාගියේය; ඔහු නැගිට ගංගාවෙන් එතරවී ගිලියාද් කන්ද දෙස බලාගියේය.
22යාකොබ් පලාගිය බව තුන්වෙනි දිනදී ලාබන්ට දන්වනලද්දේය. 23එවිට ඔහු තම සහෝදරයන් කැඳවාගෙන සත් දවසක ගමන් ඔහු ලුහුබඳවා ගොස් ගිලියාද් කන්දේදී ඔහු කිට්ටු කෙළේය. 24දෙවියන්වහන්සේ රාත්‍රියේ හීනයකින් අරාමියවූ ලාබන් වෙතට පැමිණ: නුඹ යාකොබ්ට හොඳවත් නරකවත් නොකියන ලෙස බලාගන්නැයි කීසේක. 25ලාබන් යාකොබ් ළඟට පැමුණුණේය. යාකොබ් තමාගේ කූඩාරම කන්දේ පිහිටුවාගෙන තිබුණේය. ලාබන්ද තම සහෝදරයන් සමඟ ගිලියාද් කන්දේ කූඩාරම් පිහිටුවාගත්තේය. 26ලාබන් යාකොබ්ට කථාකොට: මා කෙරෙන් මාගේ දූවරුන් කඩුවෙන් ගත් වාලුන් මෙන් ගෙන, මා වෙතින් හොරෙන් පිටත්වී ගිය එක මොන ක්‍රියාවක්ද? 27මාගේ පුත්‍රයන්ද දූවරුන්ද සිඹගන්ට මට අවකාශ නොදී, ප්‍රීතියද ගීතිකාද රබානද වීණාද ඇතුව නුඹ පිටත් කරන පිණිස මට නොදන්වා, 28සැඟවී රහසින් පලාගියේ මක්නිසාද? නුඹ අනුවණ ලෙස ක්‍රියාකෙළෙහිය. 29නුඹලාට හිංසාකරන්ට මාගේ අතේ බලය තිබේ. එහෙත් ඊයේ රාත්‍රියේදී නුඹේ පියාගේ දෙවියන්වහන්සේ මට කථාකොට–යාකොබ්ට හොඳවත් නරකවත් නොකියන ලෙස බලාගන්නැයි කීසේක. 30ඉතින් නුඹේ පියාගේ ගෙදරට යන්ට නුඹ අතිශයින් ආශා ඇති බැවින් නුඹ යන්ටම ඕනෑ නුමුත්, මාගේ දේවතාවන් සොරකම්කරගත්තේ මක්නිසාදැයි කීවේය. 31යාකොබ් උත්තරදෙමින්: නුඹ බලාත්කාරයෙන් නුඹේ දූවරුන් මා කෙරෙන් පැහැරගන්නෙහි දෝහෝයි සිතා මා භයවූ නිසාය. 32කවරෙකු ළඟ නුමුත් නුඹේ දේවතාවෝ සම්බවෙත්ද ඔහු ජීවත් නොවේවා. නුඹේ යම් දෙයක් මා ළඟ තිබේද කියා අපේ සහෝදරයන් ඉදිරියේදී බලා එය ගන්නැයි කීවේය. මක්නිසාද රාඛෙල් ඒවා සොරාගත් බව යාකොබ් නොදත්තේය. 33එවිට ලාබන් යාකොබ්ගේ කූඩාරමටත් ලෙයාගේ කූඩාරමටත් දාසීන් දෙදෙනාගේ කූඩාරමටත් ඇතුල්වී සෙවූ නමුත් ඒවා සම්බනූණේය. ඔහු ලෙයාගේ කූඩාරමෙන් ගොස් රාඛෙල්ගේ කූඩාරමට ඇතුල් විය. 34රාඛෙල් ඒ දේවතා රූප රැගෙන ඔටු ඇඳුම් යට තබා ඒවා උඩ හිඳගෙන උන්නීය. ලාබන් මුළු කූඩාරම අතගා බැලූ නුමුත් ඒවා සම්බනොවීය. 35ඈ පියාට කථාකොට: ඔබ ඉදිරියෙහි මට නැගිටින්ට බැරි නිසා මාගේ ස්වාමියා කෝපනොවේවා; මක්නිසාද ස්ත්‍රීන්ගේ නියමය මට සිදුවී තිබේයයි කීවාය. මෙසේ ඔහු සෙවූ නුමුත් ඒ රූප සම්බනොවීය. 36එවිට යාකොබ් කිපී ලාබන් සමඟ විවාදකොට උත්තරදෙමින්: නුඹ වේගයෙන් මා පස්සේ එළවාගන ආවේ මාගේ කුමන වරදක් නිසාද? මාගේ පාපය කිමෙක්ද? 37නුඹ මාගේ බඩු සියල්ල අතගා බැලුයෙහිය; නුඹේ ගෙයි බඩු සියල්ලෙන් නුඹට සම්බවුණේ කිමෙක්ද? එය මෙහි මාගේ සහෝදරයන්ද නුඹේ සහෝදරයන්ද ඉදිරියේ තබන්න, ඔව්හු අප දෙදෙනා අතරෙහි විනිශ්චය කෙරෙත්වා. 38දැනට විසි අවුරුද්දක් නුඹ සමඟ සිටියෙමි; නුඹේ බැටළුදෙන්නුද නුඹේ එළුදෙන්නුද ගබ්සානුවූවෝය, නුඹේ රැළවල බැටළුවන් මම නොකෑයෙමි. 39වල් සතුන් විසින් ඉරාදමන ලද්දවුන් නුඹ වෙතට නොගෙනවුත් මම්ම ඒ අලාභය වින්දෙමි; දවාලේ හෝ රාත්‍රියේ හෝ සොරකම්කරනලද්දවුන් නුඹ මා අතින් අය කෙළෙහිය. 40දවාලේ රස්නයෙන්ද රාත්‍රියේ ශීතලෙන්ද ක්ෂයවීමි; මාගේ ඇස්වලින් මාගේ නින්ද පහව ගියේය. 41මෙසේ පසුවුණෙමි. මේ විසි අවුරුද්ද නුඹේ ගෙයි සිටියෙමි; නුඹේ දූවරුන් දෙදෙනා උදෙසා දස සතර අවුරුද්දක්ද නුඹේ රැළ උදෙසා සාවුරුද්දක්ද මෙහෙකෙළෙමි. නුඹ මාගේ කුලිය දස වරක් වෙනස්කෙළෙහිය. 42ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ භය භූමියද වූ තැනන්වහන්සේ, මාගේ පියාගේ දෙවියන්වහන්සේ, මා සමඟ නොසිටිසේක්නම් සැබවින් නුඹ මා හිස් අතින් යන්ට හරිනවා ඇත. දෙවියන්වහන්සේ මාගේ පීඩාව සහ මාගේ අත්වල වෙහෙසද දැක ඊයේ රාත්‍රියේ නුඹට තරවටුකළසේකැයි ලාබන්ට කීය. 43ලාබන් උත්තරදෙමින්: දූවරු මාගේ දූවරුය, දරුවෝ මාගේ දරුවෝය, රැළවල් මාගේ රැළවල්ය, නුඹට පෙනෙන මේ සියල්ල මාගේය. මේ මාගේ දූවරුන්ට හෝ ඔවුන්ට බිහිකළ දරුවන්ට හෝ අද කුමක් කළහැකිවෙම්ද? 44ඉතින් දැන් එන්න, මමත් නුඹත් ගිවිසුමක් කරගනිමු; ඒක මා සහ නුඹ අතරෙහි සාක්ෂියක් පිණිස වේවයි යාකොබ්ට කීවේය. 45යාකොබ් ගලක් රැගෙන කණුවක් කොට සිටුවා: 46ගල් රැස් කරන්නැයි තමන් සහෝදරයන්ට කීය; ඔව්හු ගල් රැගෙන ගොඩක් සෑදුවෝය. තවද ඔව්හු ඒ ගොඩ ළඟ හිඳ කෑවෝය. 47ලාබන් ඊට ඉගර්-සාහදූතා යන නම තැබුවේය. එහෙත් යාකොබ් ඊට ගල්යේද් යන නම තැබුවේය. 48අද මේ ගොඩ මා සහ නුඹ අතරේ සාක්ෂියක්යයි ලාබන් කීවේය. එහෙයින් ඊට ගල්යේද් යන නම තබනලද්දේය. 49තවද එයට මිශ්පායයිද#31:49 එනම්, මුරකොටුව. කියනලදී. මක්නිසාද ඔහු කථාකර: අප එකිනෙකාගෙන් වෙන්ව සිටින කල ස්වාමීන්වහන්සේ මා සහ නුඹ අතරේ බලාඉන්නසේක්වා. 50ඉදින් නුඹ මාගේ දූවරුන්ට පීඩාකළොත්, මාගේ දූවරුන් ඇර තව භාර්යාවන් පාවාගත්තොත්, කිසි මනුෂ්‍යයෙක් අප සමඟ නැතත්, බලව, දෙවියන්වහන්සේ මා සහ නුඹ අතරේ සාක්ෂි වනසේකැයි කීවේය. 51තවද ලාබන්: මා සහ නුඹ අතරේ මා සිටෙවූ මේ ගොඩත් මේ කණුවත් බලන්න. 52නපුරක් කරන පිණිස මා මේ ගොඩ පසුකර නුඹ වෙතට නේන බවටත් නුඹ මේ ගොඩ සහ මේ කණුව පසුකර මා වෙතට නේන බවටත් මේ ගොඩ සාක්ෂි වේවා, මේ කණුවද සාක්ෂි වේවා. 53ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද නාහොර්ගේ දෙවියන්වහන්සේද වන ඔවුන්ගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ අප අතරේ විනිශ්චයකරනසේක්වයි යාකොබ්ට කීවේය. යාකොබ්ද තමාගේ පියාවූ ඊසාක්ගේ භය භූමියවූ තැනන්වහන්සේ ගැන දිවුළේය. 54තවද යාකොබ් කන්දේදී පූජාවක් ඔප්පුකොට කෑම කන්ට තමාගේ සහෝදරයන් කැඳවිය. ඔව්හුද කෑම කා මුළු රාත්‍රියෙහි කන්දේ නැවතී සිටියෝය. 55ලාබන් අලුයම නැගිට තම පුත්‍රයන්ද දූවරුන්ද සිඹ ඔවුන්ට ආශීර්වාදකොට පිටත්ව තමාගේ ස්ථානයට හැරී ගියේය.
Currently Selected:
උත්පත්ති 31: SROV
ማድመቅ
ያጋሩ
ኮፒ

ያደመቋቸው ምንባቦች በሁሉም መሣሪያዎችዎ ላይ እንዲቀመጡ ይፈልጋሉ? ይመዝገቡ ወይም ይግቡ
Ceylon Bible Society