ප්‍රේම ගී 7:1-10

ප්‍රේම ගී 7:1-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අහෝ අධිපති දියණියනි, වහන් සහිත ඔබේ පාද කොතරම් මනහර ද! ඔබගේ වක්‍රාකාර කලවා, ශිල්පීය අතකින් නිම කළ ආභරණයක් වගේ ය. ඔබේ නාභිය, මිශ්‍ර මිදි යුෂ හිඟ නො වන වටකුරු පාත්‍රයක් වගේ ය; ඔබගේ උදරය, මානෙල් මලින් වට වූ තිරිඟු ගොඩක් වගේ ය. ඔබේ පියයුරු, මුව දෙනකගේ නිවුන් පැටවුන් යුගලයක් වගේ ය. ඔබගේ ගෙල, ඇත්දත් කණුවක් වගේ ය; ඔබගේ දෙනෙත, බැත්-රබ්බීම් දොරටුව පසෙක හෙෂ්බෝන් පොකුණු වගේ ය. ඔබගේ නාසය, දමස්කය පුරය දෙස බලා සිටින ලෙබනොන් කුලුන වගේ ය. ඔබගේ හිස, කර්මෙල් කන්ද මෙන් ගරු ගාම්භීර ය. ඔබගේ හිසකේ, රාජකීය ගෙත්තමක් වගේ ය; එම කෙස් රොදට රජු වසඟ වේ. එම්බා ප්‍රියාවිය, ඔබගේ ප්‍රමෝදයන්හි ඔබ කොතරම් අලංකාර ද! කොතරම් ප්‍රිය ජනක ද! ඔබගේ උස ප්‍රමාණය ඉඳි ගසක් වගේ ය; ඔබගේ පියයුරු ඉඳි පොකුරු වගේ ය. මා කීවේ, “මම ඉඳි ගසට නැග, එහි පල අල්ලන්නෙමි” කියා ය; ඔබේ පියයුරු මිදි පොකුරු මෙන් වේවා; ඔබේ හුස්මෙහි ඇපල් සුවඳ රැඳේවා; ඔබගේ මුව ඉස්තරම් මිදි යුෂ මෙන් වේවා! එම මිදි යුෂ මගේ පෙම්වතාගේ තොල් හා දත් අතරින් මුදු-සිනිඳු ව ගලා බසීවා! මා අයිති මගේ ප්‍රේමවන්තයාට ය; ඔහුගේ ආශාව මා කෙරේ ය.

ප්‍රේම ගී 7:1-10 Sinhala Revised Old Version (SROV)

අධිපතියාණන්ගේ දුවණියෙනි, වහන් සහිත නුඹේ අඩි තැබීම කොපමණ ලක්ෂණද! නුඹේ කළවා සන්ධි දක්ෂ කම්කරුවෙකුගේ අතින් කළ ආභරණ මෙන්ය. නුඹේ නාභිය මිශ්‍රකළ පානයෙන් පූර්ණවූ වටකුරුවූ පාත්‍රයක් මෙන්ය, නුඹේ උදරය මානෙල්වලින් වටවූ තිරිඟු ගොඩක් මෙන්ය. නුඹේ දෙතන නිඹුල් මුවපැටවුන් දෙදෙනෙකු මෙන්ය. නුඹේ ග්‍රීවය ඇත්දත් කුළුනක් මෙන්ය; නුඹේ ඇස් හෙෂ්බොන්හි බැත්-රබ්බිම් දොරටුව ළඟ තිබෙන පොකුණු මෙන්ය; නුඹේ නාසය දමස්කය දෙස පිහිටි ලෙබනොන් කොත මෙන්ය. නුඹේ මතුයෙහි තිබෙන නුඹේ සිරස කර්මෙල් කන්ද මෙන්ය, නුඹේ හිසකේ රත්නිල් කෙඳි මෙන්ය; රජතෙමේ ඒ රොදවලින් වසඟවී සිටියි. එම්බා, සොඳුරිය, ප්‍රීතිය වඩවන්ට නුඹ කොපමණ ලක්ෂණද! කොපමණ ප්‍රියකරුද! මේ නුඹේ උස ප්‍රමාණය තල් ගසකටත් නුඹේ පියයුරු මිදි පොකුරුවලටත් සමානය. මම තල් ගසට නැගී එහි අතු අල්ලන්නෙමියි කීමි. නුඹේ පියයුරු මිදි පොකුරු මෙන්ද නුඹේ හුස්මේ සුවඳ ජම්බු මෙන්ද නුඹේ මුඛය ඉතා හොඳ මුද්‍රිකපානය මෙන්ද වේවා; ඒවා මාගේ ප්‍රේමවන්තයාට හරියන්නේය, නිදාඉන්නන්ගේ තොල් සෙමින් සොලවන්නේය. මම මාගේ ප්‍රේමවන්තයාගේය, ඔහුගේ ආශාවද මා කෙරෙහිය.

ප්‍රේම ගී 7:1-10 Sinhala New Revised Version (NRSV)

රාජ කුමරුවාණන්ගේ දියණියනි, වහන් ලා ගත් ඔබේ පා සඟළ කෙතරම් මනහර ද? ඔබේ කලවා සන්ධි කලා ශිල්පියෙකුගේ කෘතියක් වැනි ය. ඔබේ නාභිය මිදියුස පිරුණු, වටකුරු පාත්‍රයක් වැනි ය. ඔබේ උදරය මානෙල් මලින් වට වූ තිරිඟු ගොඩක් වැනි ය. ඔබේ පියයුරු නිවුන් මුව පැටවුන් දෙදෙනෙකු වැනි ය. ඔබේ ගෙල ඇත්දත් කුළුණක් වැනි ය. ඔබේ ඇස් හෙෂ්බොන් නුවරෙහි බැත්-රබ්බිම් දොරටුව ළඟ තිබෙන පොකුණ වැනි ය. ඔබේ නාසය දමස්කය මුර කරන ලෙබනොන් කොත වැනි ය. ඔබ ඔසවාගෙන සිටින හිස කර්මෙල් කන්ද වැනි ය. ඔබේ ගොතන ලද වරලස රත්නිල් කෙඳි වැනි ය. රජ තෙමේ ඒ කෙස් කළඹින් වසඟ වී සිටියි. එම්බා සොඳුරිය, ප්‍රීතිය වඩවන්න ඔබ කොපමණ ශෝභන ද? ඔබේ ප්‍රේමය ප්‍රියජනක ය. මේ ඔබේ උස ප්‍රමාණය තල් ගසකටත්, ඔබේ පියයුරු මිදි පොකුරුවලටත් සමාන ය. ‘මම තල් ගසට නැඟී එහි අතු අල්ලන්නෙමි’යි කීමි. ඔබේ පියයුරු මිදි පොකුරු මෙන් ද ඔබේ හුස්මේ සුවඳ ජම්බු මෙන් ද ඔබේ මුඛය ඉතා අනගි මිදියුස මෙන් ද වේ වා! ඒ මිදියුස මා පෙම්වතා වෙත ඔහුගේ දෙතොල් පිටත්, දත් පිටත් ගලා යේ වා! මම මාගේ පෙම්වතාගේ ය; ඔහුගේ ආශාව ද මා කෙරෙහි ය.

ප්‍රේම ගී 7:1-10 Sinhala New Revised Version 2018 (SNRV)

රාජ කුමරුවාණන්ගේ දියණියනි, වහන් ලා ගත් ඔබේ පා සඟළ කෙතරම් මනහර ද? ඔබේ කලවා සන්ධි කලා ශිල්පියෙකුගේ කෘතියක් වැනි ය. ඔබේ නාභිය මිදියුස පිරුණු, වටකුරු පාත්‍රයක් වැනි ය. ඔබේ උදරය මානෙල් මලින් වට වූ තිරිඟු ගොඩක් වැනි ය. ඔබේ පියයුරු නිවුන් මුව පැටවුන් දෙදෙනෙකු වැනි ය. ඔබේ ගෙල ඇත්දත් කුලුණක් වැනි ය. ඔබේ ඇස් හෙෂ්බොන් නුවරෙහි බැත්-රබ්බිම් දොරටුව ළඟ තිබෙන පොකුණ වැනි ය. ඔබේ නාසය දමස්කය මුර කරන ලෙබනොන් කොත වැනි ය. ඔබ ඔසවාගෙන සිටින හිස කර්මෙල් කන්ද වැනි ය. ඔබේ ගොතන ලද වරලස රත්නිල් කෙඳි වැනි ය. රජ තෙමේ ඒ කෙස් කළඹින් වසඟ වී සිටියි. එම්බා සොඳුරිය, ප්‍රීතිය වඩවන්න ඔබ කොපමණ ශෝභන ද? ඔබේ ප්‍රේමය ප්‍රියජනක ය. මේ ඔබේ උස ප්‍රමාණය තල් ගසකටත්, ඔබේ පියයුරු මිදි පොකුරුවලටත් සමාන ය. ‘මම තල් ගසට නැඟී එහි අතු අල්ලන්නෙමි’යි කීමි. ඔබේ පියයුරු මිදි පොකුරු මෙන් ද ඔබේ හුස්මේ සුවඳ ජම්බු මෙන් ද ඔබේ මුඛය ඉතා අනගි මිදියුස මෙන් ද වේ වා! ඒ මිදියුස මා පෙම්වතා වෙත ඔහුගේ දෙතොල් පිටත්, දත් පිටත් ගලා යේ වා! මම මාගේ පෙම්වතාගේ ය; ඔහුගේ ආශාව ද මා කෙරෙහි ය.