ප්‍රේම ගී 2:1-13

ප්‍රේම ගී 2:1-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මා ෂාරොන්හි රෝස මලකි; මිටියාවත්වල මානෙල් මලකි. යෞවනියන් අතරේ මගේ ප්‍රියාවිය, කටු පඳුරු අතරේ මානෙල් මලක් සේ ය. යෞවනයන් අතර මගේ පෙම්වතා, කැලේ ගස් අතර ඇපල් ගසක් සේ ය. ඔහුගේ සෙවණේ හිඳ සිටීම මට මහත් ආශ්වාදයකි. ඔහුගේ පලය ද රසයෙන් මට මිහිරි ය. මධු-පැන් නිවස වෙත ඔහු මා ගෙන ආවේ ය, මට ඉහළින් ඔහුගේ ධජය ප්‍රේමය ය. වියළි මිදිවලින් මා ප්‍රාණවත් කර, ඇපල්වලින් මා ප්‍රබෝධ කරන්න; මන්ද මම ප්‍රේමයෙන් මුසපත් ව සිටිමි. මගේ හිසට යටින් ඔහුගේ වමත් බාහුව ය. ඔහුගේ දකුණත මා වැලඳ ගනී. එම්බා යෙරුසලමේ දූවරුනි, කුරංග මුවන් හා බැද්දේ මුව දෙනුන් නමින් මා නුඹලා දිවුරවන්නේ, නිසි අවස්ථාව එළැඹෙන තෙක්, ප්‍රේමය නො පොලඹවන ලෙසයි; නො පුබුදුවන ලෙසයි. ඇහෙනවා ද? ඒ මගේ ප්‍රේමවන්තයාගේ කටහඬයි; අන්න! ඔහු එන අපූරුව; කඳු හරහා පැන පැන, කඳු ගැට නගිමින්. මගේ පෙම්වතා කුරංග මුවකු වගේ; නාඹර ගෝනකු වගේ; අන්න! ඔහු අපේ බිත්තියට එහායින් සිටගෙන, කවුළු අතරින් විපරම් කර කර, ගරාදි අතරින් එබී බලයි. මගේ පෙම්වතා මා අමතා පවසන්නේ, “නැගිටින්න මා ප්‍රියාවිය, මගේ රූමතිය, එන්න මා සමඟ; ඔන්න දැන් ශීත කාලේ ගෙවිලා ඉවරයි; වැස්ස නැවතිලා; වැහි ඉවරයි. පොළෝ තලේ මල් පිපිලා; ගී ගයන කාලය ඇවිල්ලා; පරෙවියන්ගේ කූජනය අපේ බිමේ ඇසේ. අත්තික්කා ගහේ ගෙඩි ඉදෙන විට, මිදි වැල්වල මල් පිපෙන විට ඒවායේ සුවඳ පැතිරේ; නැගිටින්න, මා ප්‍රියාවිය, මගේ රූමතිය, එන්න මා සමඟ.”

ප්‍රේම ගී 2:1-13 Sinhala Revised Old Version (SROV)

මම ෂාරොන්හි සෙව්වන්දි මලක්ය, මිටියාවත්වල මහනෙල් මලක්ය. කටුගස් අතරේ මහනෙල් මලක් යම්සේද, දූවරුන් අතරේ මාගේ සොඳුරත් එසේය. වනයේ ගස් අතරේ ජම්බු ගස යම්සේද, පුත්‍රයන් අතරේ මාගේ ප්‍රේමවන්තයාත් එසේය. මම ඔහුගේ සෙවණෙහි ප්‍රීතියෙන් හිඳගතිමි, ඔහුගේ ඵලද මාගේ කටට මිහිරි විය. ඔහු මිදිපැන් ගෙයට මා ගෙනායේය, මට උඩින් ඔහුගේ කොඩිය ප්‍රේමයය. වියළි මිදිපලවලින් මා ශක්තිමත්කර, ජම්බුවලින් මා ප්‍රාණවත්කරන්න. මක්නිසාද මම ප්‍රේමාතුරව සිටිමි. ඔහුගේ වමත මාගේ හිස යටය, දකුණතද මා වැළඳගනියි. යෙරුසලමේ දූවරුනි, ප්‍රේමය කැමැතිවන තුරු එය නොනැගුටුවන ලෙසත් නුපුබුදුවන ලෙසත් මුවදෙනුන් සහ වනයේ ඕලුදෙනුන් නමින් නුඹලා දිවුරවමි. අන්න, මාගේ ප්‍රේමවන්තයාගේ හඬ! බලව, ඔහු කඳුවල පනිමින්ද හෙල්වල පැන නගිමින්ද එන්නේය. මාගේ ප්‍රේමවන්තයා මුවෙකු නොහොත් මුවපැටවෙකු මෙන්ය. අන්න, ඔහු අපේ තාප්පයට පිටතින් සිට, කවුළුවලින් බලයි, ගරාදි අතුරෙන් එබීබලයි. මාගේ ප්‍රේමවන්තයා කථාකර මට කියන්නේ: මාගේ සොඳුර, ශෝභන තැනැත්තිය, නැගිට එන්න. මක්නිසාද ශීත කාලය පසුවිය, වැස්ස නැවතුණේය; පොළොව පිට මල් පෙනෙයි; කුරුල්ලන් නාදකරන කාලය පැමිණියේය, කොබෙයියාගේ හඬ අපේ දේශයෙහි ඇසෙයි; දිඹුල් ගසේ අමු ගෙඩි ඉදීගන එයි, මිදිවැල්වල මල් පිපී, සුවඳ හමයි. මාගේ සොඳුර, මාගේ ශෝභන තැනැත්තිය, නැගිට එන්න.

ප්‍රේම ගී 2:1-13 Sinhala New Revised Version (NRSV)

මම ෂාරොන්හි සෙව්වන්දියක් ය; මිටියාවත්වල මානෙල් මලක් ය. කටු ගස් අතරේ මානෙල් මලක් යම් සේ ද යුවතියන් අතරේ මාගේ සොඳුරියත් එසේ ම ය. වනයේ ගස් අතරේ ජම්බු ගස් යම් සේ ද තරුණයන් අතරේ මාගේ පෙම්වතාත් එසේ ම ය. ඒ රුක් සෙවණෙහි හිඳීමට මම ප්‍රිය කරමි; එහි ඵල මා මුවට ඉමිහිරි ය. ඔහු බොදුන් හලට මා ගෙනායේ ය. මට උඩින් එසෙවු කොඩිය ප්‍රේමය ය. වියළි මිදි පලවලින් මා ශක්තිමත් කරන්න; ජම්බුවලින් මා පණ ගන්වන්න. මන්ද, මම අනුරාගයෙන් ගිලන් වී සිටිමි. ඔහුගේ වමත මාගේ හිස යට ඇත; දකුණතින් ඔහු මා වැළඳගෙන ඇත. ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප දෙදෙනා අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට කුඹුරේ දෙවි දේවතාවන්ගේ නාමයෙන් දිවුරන්න. අන්න, මා පෙම්වතාගේ කට හඬ; කඳු මත පනිමින්, හෙල් පිට නඟිමින් බලන්න එන හැටි විගසින්. මා පෙම්වතා මුවෙකු වැනි ය. ඔහු මුව පැටවෙකු වැනි ය; බිත්තිය අයිනේ සිටගෙන, කවුළුව දෙස බලමින් ඔහු සිටියි, ගරාදි අතරෙන් එබිකම් කරමින්; මා පෙම්වතා මා අමතමින් මට මෙසේ කී ය: “මා සුරතලිය, නැඟිටින්න; මා සොඳුරිය, දැන් එන්න. සිසිර කාලය දැන් පසු වී ඇත; වැසි වරුසා නතර වී ඇත. මිහි පිට මල් පිපී ඇත; ගී ගයනා කාලය පැමිණ ඇත; කොවුල් හඬ දසත පැතිර යත. පැසුණු දිඹුල් පල ඉදෙන විට, මිදිවැල් සුවඳ හමන විට, මා සුරතලිය, නැඟිට එන්න; මා සොඳුරිය, දැන් එන්න.

ප්‍රේම ගී 2:1-13 Sinhala New Revised Version 2018 (SNRV)