ගීතාවලිය 37:16-22

ගීතාවලිය 37:16-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)

දුෂ්ටයින්ගේ ධන සම්භාරයට වඩා ධාර්මිකයාට ඇති අල්පය හොඳ ය. මන්ද දුෂ්ටයාගේ බලය සිඳ දමනු ලැබේ; එහෙත් ස්වාමින්වහන්සේ ධාර්මිකයා උසුලන සේක. නිර්දෝෂීන්ගේ දවස්, ස්වාමින්වහන්සේගේ අධීක්ෂණය යටතේ වේ; ඔවුන්ගේ උරුමය, සදහට ම පවත්නේ ය. විපත්ති කාලවලදී ඔවුන් ලජ්ජාවට පත් නො වේ; සාගත කාලවලදීත් ඔවුහු බහුලත්වය භුක්ති විඳිති. එහෙත් දුෂ්ටයෝ වැනසී යන්නෝ ය: ස්වාමින්වහන්සේගේ සතුරන්, වනයේ අලංකාරය වැන්න; ඔවුහු අන්තර්ධාන වෙති; දුම් රොදක් සේ අන්තර්ධාන වෙති. දුෂ්ටයා ණය ගෙන ආපසු නො ගෙවයි; එහෙත් ධාර්මිකයා ත්‍යාගශීලී ව පරිත්‍යාග කරයි. ස්වාමින්වහන්සේගෙන් ආශිර්වාද ලබන්නෝ දේශය උරුම කර ගන්නෝ ය. එහෙත් උන්වහන්සේගෙන් ශාප ලබන්නෝ සිඳ දමනු ලබන්නෝ ය.

ගීතාවලිය 37:16-22 Sinhala Revised Old Version (SROV)

බොහෝ දුෂ්ටයන්ගේ වස්තු රාශියට වඩා ධර්මිෂ්ඨයාට ඇති ස්වල්පය යහපත. මක්නිසාද දුෂ්ටයන්ගේ බාහු බිඳිනු ලබන්නේය. නුමුත් ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ට පිහිටවනසේක. භක්තිවන්තයන්ගේ දවස් ස්වාමීන්වහන්සේ දන්නාසේක. ඔවුන්ගේ උරුමයද සදාකල් පවතින්නේය. ඔව්හු විපත්ති කාලයේදී ලජ්ජා නොවන්නෝය. දුර්භික්ෂ දවස්වලදී තෘප්තියට පැමිණෙන්නෝය. නුමුත් දුෂ්ටයෝ විනාශවන්නෝය, ස්වාමීන්ගේ සතුරෝද ගොදුරු බිම්වල සාරවූ කොටස මෙන් වන්නෝය. ඔව්හු ක්ෂයවන්නෝය; දුම මෙන් සහමුලින්ම ක්ෂයවන්නෝය. දුෂ්ටයා ණය ගෙන, නැවත නොගෙවයි. නුමුත් ධර්මිෂ්ඨයා කරුණාවෙන් ක්‍රියා කරමින් ප්‍රදානයකරයි. මක්නිසාද උන්වහන්සේගෙන් ආශීර්වාදලද්දෝ දේශය උරුමකර ගන්නෝය; උන්වහන්සේගෙන් ශාපලද්දෝ සිඳිනු ලබන්නෝය.