ගීතාවලිය 33:4-22 - Compare All Versions
ගීතාවලිය 33:4-22 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ස්වාමින්වහන්සේගේ වචනය සත්‍යය ය. කරන හැම කාරියකදී ම උන්වහන්සේ විශ්වසනීය ය. දමිටුකමටත්, යුක්තියටත් උන්වහන්සේ ප්‍රේම කරන්නාහ; ස්වාමින්වහන්සේගේ නොමියෙන ප්‍රේමයෙන් පොළොව පිරී ඇත. මුළු විශ්ව අහස ම මවන ලද්දේ, ස්වාමින්වහන්සේගේ වචනයෙනි; විශ්ව අහස් සේනා මවන ලද්දේ, උන්වහන්සේගේ මුවෙහි හුස්මෙනි. මුහුදු වතුර උන්වහන්සේ එක් ගොඩකට රැස් කරන සේක්, ගැඹුර රැගෙන ගබඩා ගෙවල ලන සේක. පොළොව මුළුල්ල ම ස්වාමින්වහන්සේට භය වෙත්වා! ලෝ වැසි සියල්ලෝ, උන්වහන්සේට භය පක්ෂ ව සිටිත්වා! මන්ද උන්වහන්සේ කතා කළ සේක; එවිට එය සිදු විණ. උන්වහන්සේ අණ කළ සේක; එවිට එය ස්ථිර ව පිහිටා සිටියේ ය. ජාතීන්ගේ සැලසුම් ස්වාමින්වහන්සේ ව්‍යර්ථ කරන සේක; ජනයින්ගේ අරමුණු උන්වහන්සේ නිෂ්ප්‍රභ කරන සේක. එහෙත් ස්වාමින්වහන්සේගේ සැලසුම්, සදහට ම පවතී; උන්වහන්සේගේ හදේ අරමුණු, යුග පරම්පරා මුළුල්ලේ තිරසර ව පවතී. ස්වාමින්වහන්සේ ස්වකීය දෙවියන්වහන්සේ ලෙස ඇති ජාතිය ද උන්වහන්සේ ස්වකීය උරුමය කොට තෝරා වෙන් කර ගත් ජනයා ද භාග්‍යවත් ය. ස්වාමින්වහන්සේ ස්වර්ගයේ සිට පහළ බලන සේක; එවිට උන්වහන්සේ සියලු මිනිස් දූ පුතුන් දකින සේක. උන්වහන්සේ තම සිහසුනේ හිඳ, පොළෝ වාසී සියල්ලන් නිරීක්ෂණ කරන සේක. ඔවුන් හැමගේ හදවත් හැඩ ගස්වන උන්වහන්සේ, ඔවුන් කරන හැම දෙයක් ම සැලකිල්ලට ගන්නා සේක. මහා හමුදාවක් සිටීමේ හේතුවෙන් ම රජකු ගැලවෙන්නේ නැත; තමනට මහත් ශක්තියක් තිබීමේ හේතුවෙන් ම රණවිරුවකු ගැලවෙන්නේ නැත. ජයග්‍රහණය සඳහා අශ්වයකු නිෂ්ඵල බලාපොරොත්තුවකි; ප්‍රබල ශක්තියක් තිබුණ ද, ඌට කිසිවකු ගැලවිය නො හැක. මෙන්න! ස්වාමින්වහන්සේගේ ඇස් උන්වහන්සේට භය පක්ෂවූවන් වෙත ය; උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමයෙහි බලාපොරොත්තු තැබූවන් වෙත ය. එසේ වන්නේ, මරණයෙන් ඔවුන් මුදනු පිණිස ය; සාගතයේදී ඔවුන් ජීවත් ව තබා ගනු පිණිස ය. බලාපොරොත්තු සහගත ව අපි ස්වාමින්වහන්සේ ගැන බලා හිඳින්නෙමු; අපගේ උපකාරය උන්වහන්සේ ය. අපගේ පලිහ ද උන්වහන්සේ ය. උන්වහන්සේගේ ශුද්ධ වූ නාමය තුළ අපි අපේ විශ්වාසය තබා ඇත්තෙමු; එබැවින්, අප හදවත් උන්වහන්සේ තුළ ප්‍රමුදිත වෙයි. අහෝ ස්වාමින්වහන්ස, ඔබ තුළ අපි අපගේ බලාපොරොත්තු තැබූ ලෙස ම ඔබගේ නොමියෙන ප්‍රේමය අප පිට පවතීවා!
ගීතාවලිය 33:4-22 SROV (Sinhala Revised Old Version)
මක්නිසාද ස්වාමීන්ගේ වචනය සෘජුය; උන්වහන්සේගේ ක්‍රියා සියල්ල විශ්වාසකමෙන් කෙරෙන්නේය. උන්වහන්සේ ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රියවනසේක. පොළොව ස්වාමීන්ගේ කරුණා ගුණයෙන් පූර්ණය. ස්වාමීන්ගේ වචනයෙන් ආකාශයද උන්වහන්සේගේ මුඛයේ හුස්මෙන් එහි සියලු සේනාවද මවනලද්දේය. උන්වහන්සේ සමුද්‍ර ජලධාරාවන් ගොඩක් සේ රැස්කොට, ගැඹුරු ජලයන් ගබඩාවල නිධාන කොට තබනසේක. මුළු පොළොව ස්වාමීන්ට භයවේවා. ලෝ වැසි සියල්ලෝ උන්වහන්සේ කෙරෙහි භයින් සිටිත්වා. මක්නිසාද උන්වහන්සේ කථාකළ පමණින් ඉෂ්ටවිය; ආඥාකළ පමණින් ස්ථිරවිය. ස්වාමීන්වහන්සේ ජාතීන්ගේ මන්ත්‍රණය නිරර්ථක කරනසේක. මනුෂ්‍ය වර්ගයන්ගේ සිතිවිලි නිෂ්ඵල කරනසේක. ස්වාමීන්ගේ මන්ත්‍රණය සදාකාලයටද උන්වහන්සේගේ සිත්හි කල්පනා සියලු පරම්පරාවලටද පවත්නේය. ස්වකීය දෙවියන් කොට ස්වාමීන්වහන්සේ ඇතුව සිටින ජාතියද, උන්වහන්සේ විසින් ස්වකීය උරුමය කොට තෝරාගත් සෙනඟද ආශීර්වාද ලද්දෝය. ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට බලනසේක; සියලු මනුෂ්‍යපුත්‍රයන් දක්නාසේක; උන්වහන්සේ ස්වකීය වාසස්ථානයේ සිට පොළෝවාසී සියල්ලන් දෙස බලනසේක; ඔවුන් සියල්ලන්ගේ සිත් සාදන්නේ උන්වහන්සේමය, ඔවුන්ගේ සියලු ක්‍රියා සලකන්නෙත් උන්වහන්සේමය. මහත් සේනාව කරණකොටගෙන ගැළවුණු රජෙක් නැත. බලසම්පන්න මනුෂ්‍යයෙක් තමාගේ මහත් ශක්තියෙන් නොගැළවෙයි. ආරක්ෂා පිණිස අශ්වයෙක් නිෂ්ඵලය. ඌ ස්වකීය මහත් බලයෙන් කිසිවෙකු නොගළවන්නේය. බලව, ස්වාමීන් කෙරෙහි භය ඇත්තන් සහ උන්වහන්සේගේ කරුණාව බලා සිටින්නන්ගේ ආත්මය මරණයෙන් ගළවන පිණිසත්, දුර්භික්ෂයේදී ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන පිණිසත්, උන්වහන්සේගේ ඇස ඔවුන් කෙරෙහි යොමුකොට තිබේ. අපේ ආත්මය ස්වාමීන් කෙරෙහි බලාසිටියේය. අපේ උපකාරයත් පලිහත් උන්වහන්සේය. අප උන්වහන්සේගේ ශුද්ධ නාමය විශ්වාසකළ නිසා අපේ සිත උන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වන්නේය. ස්වාමිනි, ඔබ කෙරෙහි අප බලාපොරොත්තුව සිටිය ආකාරයෙන් ඔබගේ කරුණාව අප කෙරෙහි වේවා.
ගීතාවලිය 33:4-22 NRSV (Sinhala New Revised Version)
සමිඳුන්ගේ වචනය අවංක ය; එතුමන්ගේ ක්‍රියා සියල්ලක් ම විශ්වාසශීලී ය. දැහැමි බව හා යුක්තිය එතුමන්ට ප්‍රිය ය. මහ පොළොව හිමි තුමන්ගේ කරුණාවෙන් පිරී ඇත. හිමි තුමන්ගේ වචනයෙන් ආකාශය ද එතුමන්ගේ හුස්මෙන් සියලු ආකාශ වස්තූහු ද මවනු ලැබූ හ. එතුමාණෝ මුහුදු දිය දහර එක් ගොඩකට රැස් කරන සේක; ගැඹුරු දිය ගබඩාවල නිදන් කරන සේක. මුළු මහ පොළොව හිමි තුමන්ට බිය වේවා. සියලු ලෝ වැසියෝත් එතුමන්ට බියෙන් සිටිත් වා! මන්ද, එතුමාණෝ වචනයෙන් සියල්ල මවන සේක; ආඥාවකින් සියල්ල තහවුරු කරන සේක. හිමි තුමාණෝ ජාතීන්ගේ සැලසුම් නිෂ්ප්‍රභා කරන සේක; මනුෂ්‍යය ජාතීන්ගේ සිතුවිලි ව්‍යර්ථ කරන සේක. එහෙත්, සමිඳුන්ගේ සැලසුම් සදහට ම ද එතුමන්ගේ සිතිවිලි පරපුරෙන් පරපුරට ද පවත්නේ ය. සමිඳුන් තමන් දෙවියන් කොට සලකන ජාතිය ද දෙවිඳුන් සතු උරුමය ලෙස තේරුණු සෙනඟ ද ආසිරි ලද්දෝ ය. හිමි තුමාණෝ සගලොව සිට නරඹන සේක; මුළු මිනිස් සංහතිය දක්නා සේක. එතුමාණෝ සිය මන්දිරයෙහි සිට ලෝවැසි සියල්ලන් දෙස බලන සේක. ඔවුන්ගේ සිතුවිලි හැඩ ගස්වන්නේත්, ඔවුන්ගේ ක්‍රියා කල්පනාවට ගන්නේත් එතුමාණෝ ය. චතුරංගනි සේනා බලය නිසා ගැළවුණු රජෙක් නැත; තම වීර වික්‍රමයෙන් ගැළවීම සලසා ගත් රණ ශූරයෙක් නැත. ස්වාරක්ෂාව පිණිස යුද්ධ අශ්වයෙකුගෙන් වැඩක් නැත; උගේ මහත් බලයෙන් ඌ කිසිවෙකු නොගළවයි. සමිඳුන්ගේ නෙත් දේව ගරුබිය ඇත්තන් කෙරෙහි ය; මරණයෙන් ගළවන පිණිස ද දුබික් දුරු කොට දිවි රක්නා පිණිස ද එතුමාණෝ දිවැසින් බලන සේක. අපි හිමි තුමන් කෙරේ විශ්වාසයෙන් බලා සිටියෙමු. අපේ පිහිටත්, පලිහත් එතුමාණෝ ය. අපි එතුමන්ගේ සුවිශුද්ධනාමය කෙරේ විශ්වාසය තැබුවෙමු. එබැවින් අපේ සිත් ප්‍රීතියෙන් පිනා යයි. සමිඳුනි, ඔබ කෙරේ අපේ බලාපොරොත්තු පිහිටෙවු ලෙස ම ඔබේ කරුණාව අප කෙරෙහි වේ වා!
ගීතාවලිය 33:4-22 SNRV (Sinhala New Revised Version 2018)
සමිඳාණන් වහන්සේගේ වචනය අවංක ය; එතුමාණන්ගේ ක්‍රියා සියල්ලක් ම විශ්වාසශීලී ය. දැහැමි බව හා යුක්තිය එතුමාණන්ට ප්‍රිය ය. මහ පොළොව හිමිතුමාණන්ගේ කරුණාවෙන් පිරී ඇත. හිමිතුමාණන්ගේ වචනයෙන් ආකාශය ද එතුමාණන්ගේ හුස්මෙන් සියලු ආකාශ වස්තූහු ද මවනු ලැබූ හ. එතුමාණෝ මුහුදු දිය දහර එක් ගොඩකට රැස් කරන සේක; ගැඹුරු දිය ගබඩාවල නිදන් කරන සේක. මුළු මහ පොළොව හිමිතුමාණන්ට බිය වේවා. සියලු ලෝ වැසියෝත් එතුමාණන්ට බියෙන් සිටිත් වා! මන්ද, එතුමාණෝ වචනයෙන් සියල්ල මවන සේක; ආඥාවකින් සියල්ල තහවුරු කරන සේක. හිමිතුමාණෝ ජාතීන්ගේ සැලසුම් නිෂ්ප්‍රභා කරන සේක; මනුෂ්‍යය ජාතීන්ගේ සිතුවිලි ව්‍යර්ථ කරන සේක. එහෙත්, සමිඳුන්ගේ සැලසුම් සදහට ම ද එතුමාණන්ගේ සිතිවිලි පරපුරෙන් පරපුරට ද පවත්නේ ය. සමිඳුන් තමන් දෙවියන් කොට සලකන ජාතිය ද දෙවිඳුන් සතු උරුමය ලෙස තේරුණු සෙනඟ ද ආසිරි ලද්දෝ ය. හිමිතුමාණෝ සගලොව සිට නරඹන සේක; මුළු මිනිස් සංහතිය දක්නා සේක. එතුමාණෝ සිය මන්දිරයෙහි සිට ලෝවැසි සියල්ලන් දෙස බලන සේක. ඔවුන්ගේ සිතුවිලි හැඩ ගස්වන්නේත්, ඔවුන්ගේ ක්‍රියා කල්පනාවට ගන්නේත් එතුමාණෝ ය. චතුරංගනි සේනා බලය නිසා ගැළවුණු රජෙක් නැත; තම වීර වික්‍රමයෙන් ගැළවීම සලසා ගත් රණ ශූරයෙක් නැත. ස්වාරක්ෂාව පිණිස යුද්ධ අශ්වයෙකුගෙන් වැඩක් නැත; උගේ මහත් බලයෙන් ඌ කිසිවෙකු නොගළවයි. සමිඳුන්ගේ නෙත් දේව ගරුබිය ඇත්තන් කෙරෙහි ය; මරණයෙන් ගළවන පිණිස ද දුබික් දුරු කොට දිවි රක්නා පිණිස ද එතුමාණෝ දිවැසින් බලන සේක. අපි හිමිතුමාණන් කෙරේ විශ්වාසයෙන් බලා සිටියෙමු. අපේ පිහිටත්, පලිහත් එතුමාණෝ ය. අපි එතුමාණන්ගේ සුවිශුද්ධනාමය කෙරේ විශ්වාසය තැබුවෙමු. එබැවින් අපේ සිත් ප්‍රීතියෙන් පිනා යයි. සමිඳුනි, ඔබ කෙරේ අපේ බලාපොරොත්තු පිහිටෙවු ලෙස ම ඔබේ කරුණාව අප කෙරෙහි වේ වා!
ගීතාවලිය 33:4-22 NIV (New International Version)
For the word of the LORD is right and true; he is faithful in all he does. The LORD loves righteousness and justice; the earth is full of his unfailing love. By the word of the LORD the heavens were made, their starry host by the breath of his mouth. He gathers the waters of the sea into jars; he puts the deep into storehouses. Let all the earth fear the LORD; let all the people of the world revere him. For he spoke, and it came to be; he commanded, and it stood firm. The LORD foils the plans of the nations; he thwarts the purposes of the peoples. But the plans of the LORD stand firm forever, the purposes of his heart through all generations. Blessed is the nation whose God is the LORD, the people he chose for his inheritance. From heaven the LORD looks down and sees all mankind; from his dwelling place he watches all who live on earth— he who forms the hearts of all, who considers everything they do. No king is saved by the size of his army; no warrior escapes by his great strength. A horse is a vain hope for deliverance; despite all its great strength it cannot save. But the eyes of the LORD are on those who fear him, on those whose hope is in his unfailing love, to deliver them from death and keep them alive in famine. We wait in hope for the LORD; he is our help and our shield. In him our hearts rejoice, for we trust in his holy name. May your unfailing love be with us, LORD, even as we put our hope in you.