ගීතාවලිය 27:4-9

ගීතාවලිය 27:4-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේගෙන් එක් දෙයක් ඉල්ලන්නෙමි; ඒ දේ ම ඉල්ලා සිටින්නෙමි; එනම්, ස්වාමින්වහන්සේගේ ශෝභාලංකාරය දෙස බලා හිඳිමින්, දේව මාලිගයේ සිට මෙනෙහි කරන පිණිස මගේ ජීවිතයේ සියලු දවස්හි, ස්වාමින්වහන්සේගේ ගෘහයේ වාසය කරන්නට ය. මන්ද, විපත්ති දවසේ, උන්වහන්සේ තම වාසභවනෙහි මා සඟවා තබන සේක; උන්වහන්සේගේ කූඩාරම් සෙවණේ මට රක්ෂාවරණ දෙමින්, පර්වතයක් පිට මා ඔසවා තබන සේක. එකල, මා වට කොට සිටින සතුරනට ඉහළින්, මම ජයග්‍රාහී ව හිස ඔසවා සිටිමි. මම ප්‍රීති ඝෝෂා නගමින්, උන්වහන්සේගේ කූඩාරමෙහි යාග පූජා පුදමි. මම ගී ගයමින්, ස්වාමින්වහන්සේට සංගීත නගන්නෙමි. මා හඬ ගසනා කල, මට සවන් දුන මැනව, අහෝ ස්වාමින්වහන්ස, මට දයානුකම්පා වී, මට උත්තර දුන මැනව. ඔබ ගැන මගේ හද පවසන්නේ, “උන්වහන්සේගේ මුහුණ සොයන්න!” කියා ය; ස්වාමින්වහන්ස, සැබවින් ම මම ඔබේ මුහුණ සොයන්නෙමි. මා වෙතින් ඔබේ මුහුණ නො සැඟවුව මැනව; කෝපයෙන් ඔබේ මෙහෙකරුවා පලවා නො හැරිය මැනව; කවදත් මගේ උපකාරයට සිටියේ ඔබ ය. මා බැහැර නො කළ මැනව, මා අතහැර නො දැමුව මැනව, මගේ ගැලවුම්කාර දෙවියන්වහන්ස.

ගීතාවලිය 27:4-9 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්ගෙන් එක දෙයක් ඉල්ලීමි, ඒක සොයන්නෙමි; එනම් ස්වාමීන්ගේ අලංකාරය දකින පිණිසත් උන්වහන්සේගේ මාලිගාවේදී භාවනාකරන පිණිසත් මාගේ ජීවිතයේ සියලු දවස්වලදී ස්වාමීන්ගේ ගෘහයෙහි වාසය කිරීමය. මක්නිසාද විපත්ති දවසේදී උන්වහන්සේ ස්වකීය විමානයෙහි මා වසා තබනසේක, ස්වකීය මණ්ඩපයෙහි වූ අප්‍රකාශ ස්ථානයෙහි මා සඟවනසේක; උන්වහන්සේ පර්වතයක් පිට මා ඔසවා තබනසේක. දැනුදු මා අවට සිටින මාගේ සතුරන්ට ඉහළින් මාගේ හිස ඔසවනු ලබන්නේය; උන්වහන්සේගේ මණ්ඩපයෙහි ප්‍රීති පූජා පුදන්නෙමි; ස්වාමීන්ට ගීතිකා කරන්නෙමි, එසේය, ප්‍රශංසා ගී කියන්නෙමි. ස්වාමිනි, මාගේ ශබ්දයෙන් හඬගසනකල ඇසුව මැනව. මට කරුණාකොට උත්තරදුන මැනව. මාගේ මුහුණ සොයව්යයි ඔබ කීකල, ස්වාමිනි, ඔබගේ මුහුණ සොයන්නෙමියි මාගේ සිත ඔබට කීය. ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව; උදහසින් ඔබගේ මෙහෙකරුවා බැහැර නොකළ මැනව. ඔබ මාගේ පිහිට වූසේක; මාගේ ගැළවීමේ දෙවියන්වහන්ස, මා පහ නොකළ මැනව, අත් නොහළ මැනව.

ගීතාවලිය 27:4-9 Sinhala New Revised Version (NRSV)

හිමි තුමන්ගෙන් එක ම යැදුමක් යදිමි; එය තරයේ සොයන්නෙමි. එනම්, හිමි තුමන්ගේ ශෝභාලංකාරය නරඹන පිණිසත්, දේව මාලිගාවේ දී උදය භාවනා කරන පිණිසත් මා දිවි ඇති තාක් හැම දා සමිඳුන්ගේ මන්දිරයේ විසීමට ය. විපත් දවසේ දී එතුමාණෝ සිය භවනෙහි මා තබා රක්නා සේක; සිය මණ්ඩපයෙහි රහස් කාමරයක මා සඟවන සේක. එතුමාණෝ මා ඔසවා පව්වක් මත මා තබන සේක. දැනුදු මා සිසාරා සිටින මාගේ සතුරන්ට ඉහළින් මාගේ හිස ඔසවමි; එතුමන්ගේ මණ්ඩපයෙහි ප්‍රීති පූජා පුදන්නෙමි; හිමි සඳුට ගී ගයා වාදනය කරන්නෙමි. හිමි තුමාණෙනි, මා හඬ නඟා කියන දෙයට සවන් දුන මැනව; මට කරුණා කොට උත්තර දුන මැනව. “මා අබිමුවට එන්නැ”යි ඔබ කියන කල, සමිඳුනි, “ඔබ අබිමුවට එන්නෙමි”යි මාගේ සිතින් කීවෙමි. මා කෙරෙන් ඔබේ මුහුණ සඟවා නොගත මැනව; උදහසින් ඔබ මෙහෙකරුවා බැහැර නොකළ මැනව. ඔබ මාගේ සරණ වන සේක. මාගේ විමුක්තිදායක දෙවියෙනි, මා පහ නොකළ මැනව; මා අත් නොහළ මැනව.

ගීතාවලිය 27:4-9 Sinhala New Revised Version 2018 (SNRV)

හිමිතුමාණන්ගෙන් එක ම යැදුමක් යදිමි; එය තරයේ සොයන්නෙමි. එනම්, හිමිතුමාණන්ගේ ශෝභාලංකාරය නරඹන පිණිසත්, දේව මාලිගාවේ දී උදය භාවනා කරන පිණිසත් මා දිවි ඇති තාක් හැම දා සමිඳුන්ගේ මන්දිරයේ විසීමට ය. විපත් දවසේ දී එතුමාණෝ සිය භවනෙහි මා තබා රක්නා සේක; සිය මණ්ඩපයෙහි රහස් කාමරයක මා සඟවන සේක. එතුමාණෝ මා ඔසවා පව්වක් මත මා තබන සේක. දැනුදු මා සිසාරා සිටින මාගේ සතුරන්ට ඉහළින් මාගේ හිස ඔසවමි; එතුමාණන්ගේ මණ්ඩපයෙහි ප්‍රීති පූජා පුදන්නෙමි; සමිඳාණන්ට ගී ගයා වාදනය කරන්නෙමි. හිමිතුමාණෙනි, මා හඬ නඟා කියන දෙයට සවන් දුන මැනව; මට කරුණා කොට උත්තර දුන මැනව. “මා අබිමුවට එන්නැ”යි ඔබ කියන කල, සමිඳුනි, “ඔබ අබිමුවට එන්නෙමි”යි මාගේ සිතින් කීවෙමි. මා කෙරෙන් ඔබේ මුහුණ සඟවා නොගත මැනව; උදහසින් ඔබ මෙහෙකරුවා බැහැර නොකළ මැනව. ඔබ මාගේ සරණ වන සේක. මාගේ විමුක්තිදායක දෙවියෙනි, මා පහ නොකළ මැනව; මා අත් නොහළ මැනව.