ගීතාවලිය 17:1-15
ගීතාවලිය 17:1-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහෝ ස්වාමින්වහන්ස, මගේ යුක්ති සහගත අයැදුම ඇසුව මැනව; මගේ මොර ගැසීමට සවන් දුන මැනව; මගේ තොල් අතරින් අවංක ව නැගෙන මගේ යැදුමට කන් දුන මැනව, මා නිදොස් වගට තීන්දුව ඔබගෙන් ම පැමිණේවා! නිවැරැද්ද ඔබේ ඇස්වලට පෙනේවා! ඔබ මා හද සෝදිසි කර බැලූ සේක; රැයෙහි මා විමසා බැලූ සේක; ඔබ මා පරීක්ෂා කළ සේක; එහෙත් ඔබට කිසි වරදක් හමු වූයේ නැත. මගේ මුවින් පව් නො කරන්නට මම නියම කර ගතිමි. මිනිසුන්ගේ ක්‍රියා ගැන සලකන කල, ඔබේ මුවින් පැවසූ වචන නිසා, මම සැහැසිකමේ මාවතින් මා වළකා ගතිමි. මගේ පියවර, ඔබගේ මාවත්හි පියමං කරයි. මගේ පා, එයින් ඉවතට ලිස්සා ගොස් නැත. මම ඔබට හඬ ගසමි, අහෝ දෙවියන්වහන්ස, මන්ද ඔබ මට පිළිතුරු දෙන සේක. මට කන් දුන මැනව, මගේ යැදුම ඇසුව මැනව. සතුරන් වෙතින් ඔබේ සරණ පතා එන්නවුන් ස්වකීය සුරතින් ගලවන මිදුම්කරුවාණනි, ඔබේ නොමියෙන පෙමෙහි අසිරිය පෙන්නුව මැනව. ඔබේ ඇසේ කළුරුවාව සේ මා රැකගෙන, ඔබේ පියාපත් සෙවණේ මා සඟවාගෙන, මට පහර දෙන දුෂ්ටයාගෙන් හා මා වටකර ගන්නා මිනීමරු සතුරන්ගෙන් මා මුදා ගත මැනව. ඔවුන්ගේ හදවත් දයාවට වැසී ඇත; ඔවුන්ගේ මුවින් පිට වන්නේ අහංකාර කතා ය. මා බිම හෙළීමට මාන බලමින්, මා ලුහුබැඳ ආ ඔවුහු, දැන් මා වටකොටගෙන ඇත. ඔවුන්, තම ගොදුර ඉරා-කෑමට නො ඉවසිලිමත් සිංහයකු වැන්න; සැඟවී, ගොදුරකට මාන අල්ලන සිංහ නාම්බකු වැන්න. නැගිටිනු මැනවි, අහෝ ස්වාමින්වහන්ස, ඔවුන්ට එරෙහිව සිට, ඔවුන් බිම හෙළා දැමුව මැනව, දුෂ්ටයින් වෙතින්, ඔබේ අසිපතින් මා මිදුව මැනව. මේ ජීවිතය ගැන පමණක් සලකන, මේ මිහි පිට මිනිසුන්ගෙන්, ඔබේ අතින් මා ගැලෙවුව මැනව, අහෝ ස්වාමින්වහන්ස, ඔවුන් උදෙසා ඔබ ගබඩා කළ දැයින් ඔවුන්ගේ කුස පිරේවා! ඔවුන්ගේ පුතුනට පමණටත් වැඩියෙන් වේවා. ඔවුහු ඒවා තම දරුවන්ටත් උරුම කරත්වා. එහෙත් මම, දමිටුකමින් ඔබගේ මුහුණ දකින්නෙමි. මා පිබිදුණු කල, ඔබගේ ස්වරූපය දැකීමෙන් මා තෘප්තියට පත් වනු ඇත.
ගීතාවලිය 17:1-15 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, යුක්තිය ඇසුව මැනව, මාගේ හඬගැසීම සැලකුව මැනව; වංකවූ තොල්වලින් නොනික්මෙන මාගේ යාච්ඤාවට කන්දුන මැනව. මාගේ නඩුතීන්දුව ඔබ ඉදිරියෙන් පැමිණේවා; ඔබගේ ඇස් යුක්තිය බලාවා, ඔබ මාගේ සිත පරීක්ෂාකළසේක; රාත්‍රියේ මා බැලූසේක; ඔබ මා විමසූසේක, මා තුළ කිසි නපුරු අදහසක් නොදක්නාසේක; මාගේ මුඛයෙන් වරද නොකරන්ට නියමකරගතිමි. මනුෂ්‍යයන්ගේ ක්‍රියා කෙසේ වුවත් මම ඔබගේ තොල්වල වචනය කරණකොටගෙන බලාත්කාරකරන්නන්ගේ මාර්ගවලින් වැලකී සිටියෙමි. මාගේ අඩි ඔබගේ මාවත්වල ස්ථිරලෙස පිහිටියේය, මාගේ පාද නොලිස්සුවේය. දෙවියන්වහන්ස, ඔබ මට උත්තරදෙන නිසා මම ඔබට හඬගැසීමි. ඔබගේ කන් මා දෙසට යොමුකොට මාගේ බස් ඇසුව මැනව. ඔබ කෙරෙහි සරණගන්නවුන් විරුද්ධකාරයන්ගෙන් ඔබගේ දකුණතින් ගළවන තැනන්වහන්ස, ඔබගේ පුදුමවූ කරුණාගුණය දැක්වුව මැනව. මාගෙන් කොල්ලකන්නාවූ දුෂ්ටයන්ගෙන්ද මා මරන්ට කැමතිවූ මා වටකරගන්න සතුරන්ගෙන්ද ඇසේ කළුරුවාව මෙන් මා රක්ෂාකළ මැනව, ඔබගේ පියාපත් සෙවණෙහි මා සඟවාගත මැනව. ඔව්හු තමුන්ගේම තෙලින් තරවී සිටිති. කටින් උඩඟුලෙස කථාකරති. දැනුදු ඔව්හු අපේ අඩිපාර බලා අප වටකරගන සිටිති. අප බිම හෙළන්ට ඇස් යොමුකර සිටිති. ඔහු ගොදුරට ගිජුවූ සිංහයෙකුටත් රහස් තැන්වල රැකහිඳින තරුණ සිංහයෙකුටත් සමානය. ස්වාමිනි, නැගුටුණ මැනව, ඔහුට විරුද්ධව සිටිය මැනව, ඔහු පහත හෙළුව මැනව; ස්වාමිනි, ඔබගේ කඩුවෙන් දුෂ්ටයන් ගෙන්ද, ඔබගේ අතින් මනුෂ්‍යයන්ගෙන්, එනම්, ඔවුන්ගේ කොටස මේ ජීවිතයෙහි ලද්දාවූ, ඔබගේ වස්තුවෙන් ඔබ විසින් බඩ පුරවන්නාවූ, දරුවන් නිසා තෘප්තියට පැමිණ, ළදරුවන්ට ඉතිරි දේ තබායන්නාවූ ලෞකික මනුෂ්‍යයන්ගෙන්ද මාගේ ආත්මය ගැළවුව මැනව. මම වනාහි ධර්මිෂ්ඨකමින් ඔබගේ මුහුණ දක්නෙමි. මම පුබුදින කල ඔබගේ ස්වරූපයෙන් තෘප්තියට පැමිණෙන්නෙමි.
ගීතාවලිය 17:1-15 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, මාගේ මේ සාධාරණ යැදුමට සවන් දුන මැනව; මාගේ හඬගැසීමට කන් දුන මැනව. මන්ද, මා එය පුදන්නේ අවංක සිතිනි. මා ගැන නඩු තීන්දුව ඔබෙන් ම පැමිණේ වා! ඔබේ දෙනෙතට යුක්තිය පෙනේ වා! ඔබ මසිත උරගා බැලූ සේක; රාත්‍රියේ මා පරීක්ෂා කළ සේක; ඔබ මා විමසා බැලූ සේක; එහෙත්, කිසි නපුරක් නැති බව දුටු සේක. අන් අය මෙන් මම නපුර කතා නොකෙළෙමි. ඔබේ නීති පිළිපැද්දෙමි; සැහැසි ක්‍රියා මාර්ගයෙන් වැළකී සිටියෙමි. ඔබ පැවසූ දහම් මඟෙහි ගමන් කෙළෙමි. ඉන් ඉවත් ව මා ඉක්ම ගියේ නැත. දෙවිඳුනි, ඔබ මට පිළිතුරු දෙන නිසා මම ඔබට හඬගසමි. මා අයැදුමට කන් යොමු කළ මැනව; මාගේ බස් ඇසුව මැනව. මිදුම්කරුනි, ඔබේ දකුණු අතින් සතුරු බියෙන් අප ගළවනු මැනව; ඔබේ අසිරිමත් පෙම හෙළි කළ මැනව. ඔබේ ම දෙනෙත රක්නා සේ මා රැකගන්න; ඔබ පියාපත් සෙවණෙහි සුරැකි ව මා සඟවන්න. වෙර බැඳ මා අවටින් සිටින සතුරන්ගෙන් ද මා කොල්ලකන දුදනන්ගෙන් ද මා රැකගන්න. මා සතුරන්ට දයාව නැත; ඔව්හු උඩඟුකමින් බස් තෙපලති. මා වටකර සැම දෙසින් බලා සිටිති; මා බිම හෙළීමට මාන බලති. ඔව්හු ගිජු ලෙස ගොදුර බලා යන සිංහයෙකුට සමාන ය; රහසිගත ව රැක සිටින තරුණ සිංහයෙකුට සමාන ය. සමිඳුනි, නැඟිටිනු මැනව; මාගේ සතුරන්ට මූණ දී ඔවුන් පරාජය කළ මැනව; ඔබේ කඩුපත ලෙලවා දුදනන්ගෙන් මා මිදුව මැනව; ඔබේ බලය පා ඔවුන්ගෙන් මා ගැළෙවුව මැනව. දුදනන්ගේ පල විපාක මෙලොව දී ම ඔවුන්ට ලැබෙනු ඇත. ඔවුන්ට නියම කොට ඇති දුක් පීඩාවලින් ඔවුන්ට දඬුවම් කළ මැනව; ඒ දඬුවම ඔවුන්ගේ දරුවන්ට ද ඉතිරි කොටස දරුවන්ගේ දරුවන්ට ද දුන මැනව. මා දමිටු හෙයින් මම ඔබේ මුහුණ දකින්නෙමි; මා අවදි වන කල ඔබේ ස්වරූපය දැක සෑහීමට පත් වන්නෙමි.
ගීතාවලිය 17:1-15 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්ස, මාගේ මේ සාධාරණ යැදුමට සවන් දුන මැනව; මාගේ හඬගැසීමට කන් දුන මැනව. මන්ද, මා එය පුදන්නේ අවංක සිතිනි. මා ගැන නඩු තීන්දුව ඔබෙන් ම පැමිණේ වා! ඔබේ දෙනෙතට යුක්තිය පෙනේ වා! ඔබ මසිත උරගා බැලූ සේක; රාත්‍රියේ මා පරීක්ෂා කළ සේක; ඔබ මා විමසා බැලූ සේක; එහෙත්, කිසි නපුරක් නැති බව දුටු සේක. අන් අය මෙන් මම නපුර කතා නොකෙළෙමි. ඔබේ නීති පිළිපැද්දෙමි; සැහැසි ක්‍රියා මාර්ගයෙන් වැළකී සිටියෙමි. ඔබ පැවසූ දහම් මඟෙහි ගමන් කෙළෙමි. ඉන් ඉවත් ව මා ඉක්ම ගියේ නැත. දෙවිඳුනි, ඔබ මට පිළිතුරු දෙන නිසා මම ඔබට හඬගසමි. මා අයැදුමට කන් යොමු කළ මැනව; මාගේ බස් ඇසුව මැනව. මිදුම්කරුනි, ඔබේ දකුණු අතින් සතුරු බියෙන් අප ගළවනු මැනව; ඔබේ අසිරිමත් පෙම හෙළි කළ මැනව. ඔබේ ම දෙනෙත රක්නා සේ මා රැකගන්න; ඔබ පියාපත් සෙවණෙහි සුරැකි ව මා සඟවන්න. වෙර බැඳ මා අවටින් සිටින සතුරන්ගෙන් ද මා කොල්ලකන දුදනන්ගෙන් ද මා රැකගන්න. මා සතුරන්ට දයාව නැත; ඔව්හු උඩඟුකමින් බස් තෙපලති. මා වටකර සැම දෙසින් බලා සිටිති; මා බිම හෙළීමට මාන බලති. ඔව්හු ගිජු ලෙස ගොදුර බලා යන සිංහයෙකුට සමාන ය; රහසිගත ව රැක සිටින තරුණ සිංහයෙකුට සමාන ය. සමිඳුනි, නැඟිටිනු මැනව; මාගේ සතුරන්ට මූණ දී ඔවුන් පරාජය කළ මැනව; ඔබේ කඩුපත ලෙලවා දුදනන්ගෙන් මා මිදුව මැනව; ඔබේ බලය පා ඔවුන්ගෙන් මා ගැළෙවුව මැනව. දුදනන්ගේ පල විපාක මෙලොව දී ම ඔවුන්ට ලැබෙනු ඇත. ඔවුන්ට නියම කොට ඇති දුක් පීඩාවලින් ඔවුන්ට දඬුවම් කළ මැනව; ඒ දඬුවම ඔවුන්ගේ දරුවන්ට ද ඉතිරි කොටස දරුවන්ගේ දරුවන්ට ද දුන මැනව. මා දමිටු හෙයින් මම ඔබේ මුහුණ දකින්නෙමි; මා අවදි වන කල ඔබේ ස්වරූපය දැක සෑහීමට පත් වන්නෙමි.
ගීතාවලිය 17:1-15 New International Version (NIV)
Hear me, LORD, my plea is just; listen to my cry. Hear my prayer— it does not rise from deceitful lips. Let my vindication come from you; may your eyes see what is right. Though you probe my heart, though you examine me at night and test me, you will find that I have planned no evil; my mouth has not transgressed. Though people tried to bribe me, I have kept myself from the ways of the violent through what your lips have commanded. My steps have held to your paths; my feet have not stumbled. I call on you, my God, for you will answer me; turn your ear to me and hear my prayer. Show me the wonders of your great love, you who save by your right hand those who take refuge in you from their foes. Keep me as the apple of your eye; hide me in the shadow of your wings from the wicked who are out to destroy me, from my mortal enemies who surround me. They close up their callous hearts, and their mouths speak with arrogance. They have tracked me down, they now surround me, with eyes alert, to throw me to the ground. They are like a lion hungry for prey, like a fierce lion crouching in cover. Rise up, LORD, confront them, bring them down; with your sword rescue me from the wicked. By your hand save me from such people, LORD, from those of this world whose reward is in this life. May what you have stored up for the wicked fill their bellies; may their children gorge themselves on it, and may there be leftovers for their little ones. As for me, I will be vindicated and will see your face; when I awake, I will be satisfied with seeing your likeness.