හිතෝපදේශ 26:13-28

හිතෝපදේශ 26:13-28 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“අන්න පාරේ සිංහයෙක් සිටී; නිදැල්ලේ ඇවිදින සිංහයෙක් වීදියේ වෙතැ” යි අලසයා පවසයි. දොර, සරනේරුව පිට ඒ අතටත්, මේ අතටත් හැරෙන්නා සේ කම්මැලියා තම යහන පිට ඒ මේ අත පෙරැළේ. අලසයා කෑම පිඟානට අත දමන නමුත් යළි එය කටට ගන්නට පවා කම්මැලි වෙයි. නුවණින් පිළිතුරු දෙන හත් දෙනකුටත් වඩා තමා නුවණැත්තෙකැයි කම්මැලියා සිතයි. මඟදී අනුන්ගේ ගැටුමකට මැදිහත්වන්නා, පාරේ යන බල්ලකු උගේ කන්වලින් අල්ලා ගත්තා වැනි ය. මාරක ගිනි පෙනෙලි හා ඊ ගස් විදින පිස්සකු වැනි ය, තම අසල්වැසියා රවටමින්, “විහිලුවටයි මා ඒක කළේ යැ” යි කියන මිනිසා. දර නැති වන විට ගින්න නිවෙයි; කේලම් කියන්නෙක් නොමැති විට ගැටුම් සංසිඳේ. ගිනි අඟුරුවලට අඟුරුත්, ගින්නට දරත් යම් සේ ද ආරවුල් ඇවිස්සීමට ගැටුම්කාරී මිනිසාත් ඒ වගේ ය. ඕපාදූප වචන මිහිරි රස කැවිල්ලකි; එය කෙනකුගේ ඇතුළාන්තයට ම ගිලා බහී. සිත යට නපුර තබාගෙන මුදු වදන් තෙපලන තොල්, රිදී ගෑ මැටි බඳුනක් වැන්න. කුඩුකේඩු මිනිසා තම හදෙහි ගබඩා කර ඇති වංචාව තම තොල්වල චාටු කතාවෙන් වසා ගනී. ඔහුගේ කතාව මන බඳනා වුවත්, ඔහු විශ්වාස නො කරන්න; මන්ද ඔහුගේ හදවතේ පිළිකුල්කම් හතක් ඇත. රැවටිල්ලෙන් ඔහු තම කුඩුකේඩුකම වසා ගත්තත්, ඔහුගේ දුෂ්ටකම සභාවේදී හෙළි වනු ඇත. යමෙක් වළක් හාරන්නේ නම් ඔහු ම එහි වැටෙනු ඇත. යමෙක් ගලක් පෙරළන්නේ නම්, එය ඔහු පිටට ම පෙරළේ. බොරුකාර දිවක් ඇත්තා එයින් රිදුණු අයට ද්වේෂ කරයි; ඉව්වා බස් දොඩන මුඛය විනාශය ගෙනේ.

හිතෝපදේශ 26:13-28 Sinhala Revised Old Version (SROV)

අලසයා කථාකොට: සිංහයෙක් මාර්ගයේ සිටියි; වීථිවල සිංහයෙක් ඇතැයි කියන්නේය. දොර ඒකේ අසව්ව පිට කරකැවෙන්නාක්මෙන් අලසයා තමාගේ ඇඳ පිට පෙරළෙන්නේය. අලසයා තමාගේ අත තලියේ තබන නුමුත් නැවත එය තමාගේ කටට ගැනීම ඔහුට වෙහෙසක්ය. අලසයා නුවණින් උත්තරදෙන සත්දෙනෙකුටත් වඩා තමා ප්‍රඥාවතෙකැයි සිතන්නේය. පාරේ යමින් තමාට වැදගැන්මක් නැති ඩබරයකට මැදිවෙන්නා උගේ කන්වලින් බල්ලෙකු අල්ලාගන්න කෙනෙක් මෙන්ය. තමාගේ අසල්වාසියා රවටමින්: මම සෙල්ලමට එය කෙළෙමියි කියන මනුෂ්‍යයා, තමා වටකර ගිනි පෙනෙලිද ඊගස්ද මරණයද විසිකරන පිස්සෙක් වැනිය. දර නැති තැන ගින්න නිවීයයි; එසේම කේලාම්කියන්නෙක් නැති කල තරඟය නවතින්නේය. ගිනිඅඟුරුවලට අඟුරුත් ගින්නට දරත් යම්සේද, ඩබර අවුස්සන්ට තරඟකාර මනුෂ්‍යයා එසේමය. කේලාම්කියන්නෙකුගේ වචන රසවත් භෝජන මෙනි; ඒවාත් බඩ තුළටම බැසයන්නේය. සිත නපුරුව තිබෙද්දී ජ්වලිතව තිබෙන තොල් රිදී බොර ගෑවාවූ මැටි භාජනයක්මෙනි. වෛරවෙන්නා තමාගේ තොල්වලින් වංචාකම් කර, තමා තුළ ප්‍රයෝග තබාගනියි. ඔහු ප්‍රිය වචන කථාකරන කල විශ්වාස නොකරන්න; මක්නිසාද ඔහුගේ සිතේ පිළිකුල් කාරණා සතක් ඇත්තේය. ඔහුගේ වෛරය ප්‍රයෝගයෙන් වසා තිබෙන නුමුත් ඔහුගේ දුෂ්ටකම සභාව ඉදිරියෙහි එළිදරව්වන්නේය. වළක් හාරන්නා එහි වැටෙන්නේය; ගලක් පෙරළාගන යන්නා පිටටම ඒක හැරී එන්නේය. බොරුකාර දිව එයින් තුවාලවූවන්ට වෛරකරයි; ඉච්චා මුඛයද නාස්තිය උපදවයි.

හිතෝපදේශ 26:13-28 Sinhala New Revised Version (NRSV)

අලසයා වැඩට නොයන පිණිස මෙසේ කියයි: “පාරේ සිංහයෙක් ඇත, වීදියේ නිදැල්ලේ දුවන සිංහයෙක් ඇත.” දොර, අසව්ව පිට ඒ මේ අත හැරෙයි, අලසයා ද තම යහනේ ඒ මේ අත පෙරළෙයි. අලසයා බත් පිඬ ගන්න බඳුනට අත දමයි; එහෙත් එය කටට ගන්න වත් කම්මැළි ය. නුවණැති ව පිළිතුරු දෙන සත්දෙනෙකුට වඩා ‘තමා නැණවතෙකැ’යි අලසයා සිතයි. අනුන්ගේ දබරයකට ඇඟිලි ගසන්නා, පාරේ යන බල්ලෙකු උගේ කන් දෙකින් අල්ලාගන්නෙකු හා සමාන ය. තමාගේ අසල්වැසියා රවටමින්, “මම සෙල්ලමට එය කෙළෙමි”යි කියන මිනිසා, තමා වටකර බියකරු ගිනි පෙනෙලි ද මාරක ඊගස් ද විසි කරන පිස්සෙකු වැනි ය. දර නැති තැන ගින්න නිවෙයි; කේළාම් නැති තැන දබර නවතියි. ගිනි අඟුරුවලට මයිනහමත්, ගින්නට දරත් යම් සේ ද දබරයක් ඇවිස්සීමට කලහකාරී මිනිසාත් එසේ ම ය. කටකතා රසවත් අහරකි, එය ගිලගැනීමට කවුරුත් කැමැති ය. නපුරු හදවත් සඟවාගෙන කරන සිනිඳු කතාව රිදී ගෑ මැටි බඳුනක් වැන්න. කපටියා චාටු බස් මුවාවෙන් වෛරය වසාගනියි. සතුරා මිහිරි බස් දොඩයි, එහෙත් හිත තුළ වෛරය තබාගනියි. ඔහුගේ හදවත උතුරා යන තරම් නපුරෙන් පිරී ඇත, මිතුරු වචන කීවත් ඔහු විශ්වාස නොකරන්න. තම නපුරුකම ව්‍යාජයෙන් වසාගත්තත්, ඔහුගේ දුෂ්ටකම සියල්ලන් හට හෙළි වනු ඇත. ඔහු කණින වළෙහි ඔහු ම වැටෙන්නේ ය; ඔහු පෙරළා හරින ගලට ඔහු ම යට වන්නේ ය. මුසා බස් දොඩන්නා ඉන් හානි වූවන්ට වෛර කරයි, ඉච්චා බස් දොඩන්නා විනාශය ගෙන දෙයි.

හිතෝපදේශ 26:13-28 Sinhala New Revised Version 2018 (SNRV)