ගණන් කථාව 14:1-5

ගණන් කථාව 14:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඒ රැයේ මුළු ප්‍රජාව මහ හඬ නගා, හඬා වැලපෙන්නට වන්හ. සියලු ඉශ්‍රායෙල්වරු මෝසෙස්ටත්, ආරොන්ටත් එරෙහිව මැසිවිලි නැගූහ; මුළු ප්‍රජාව ම ඔවුන් අමතමින්, “අනේ අපට ඊජිප්තුවේදී මැරෙන්නට ලැබුණා නම්! නැත්නම් මේ පාළුකරයේ මැරෙන්නට ලැබුණා නම්! කඩු පහරින් අප වැටී යන්නට ස්වාමින්වහන්සේ මේ දේශයට අප ගෙන ආවේ මන්ද? අපේ අඹු-දරුවන් කොල්ලයට හසු වේවි. ඊජිප්තුවට ආපසු හැරී යෑම අපට වඩා හොඳ නො වේ දැ?” යි කීහ. ඉන්පසු එකිනෙකා ඇමතූ ඔවුහු, “නායකයකු තෝරා ගෙන ඊජිප්තුවට ආපසු හැරී යමු” යි කීහ. එවිට මෝසෙස් හා ආරොන් එහි එක් රැස් වූ මුළු ඉශ්‍රායෙල් සභාව ඉදිරියේ මුහුණ බිම නමා, වැටුණහ.

ගණන් කථාව 14:1-5 Sinhala Revised Old Version (SROV)

එවිට මුළු සභාව ශබ්දනගා හැඬුවාය; සෙනඟ ඒ රාත්‍රියේ වැලපුණෝය. සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝසෙස්ටත් ආරොන්ටත් විරුද්ධව කොඳුළෝය. මුළු සභාව ඔවුන්ට කථාකර: අහෝ අපි මිසර දේශයෙහි මළෙමු නම් යහපත; නොහොත් මේ කාන්තාරයෙහි මළෙමුනම් යහපත. අප කඩුවෙන් වැටෙන පිණිස ස්වාමීන්වහන්සේ මේ දේශයට අප ගෙනෙන්නේ මක්නිසාද? අපේ භාර්යාවන්ද බාලයන්ද කොල්ලයක් වෙනවා ඇත. මිසරයට හැරීයාම අපට හොඳ නොවේ දැයි කීවෝය. තවද ඔව්හු එකිනෙකාට කථාකොට: අපි ප්‍රධානියෙකු පත්කරගෙන මිසරයට හැරීයමුයයි කීවෝය. එවිට මෝසෙස් හා ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාවේ මුළු සමූහයා ඉදිරියෙහි මුහුණින් වැටුණෝය.