ශු. මාර්ක් 12:35-44

ශු. මාර්ක් 12:35-44 සිංහල කාලීන පරිවර්තනය (SCV)

යේසුස්වහන්සේ දේව මාලිගයේ උගන්වමින්, “ක්‍රිස්තුස්වහන්සේ දාවිත්ගේ පුත්‍රයා යැයි දහම් පඬිවරු කියන්නේ කෙසේ ද? දාවිත් ම ශුද්ධාත්මයාණන්වහන්සේගේ මඟපෙන්වීමෙන් කතා කරමින්, “ ‘මා විසින් ඔබේ සතුරන් ඔබේ පයට යටත් කරන තෙක්, මා දකුණු පසින් අසුන් ගන්නැ’ යි ස්වාමින්වහන්සේ මා ස්වාමින්වහන්සේට කී සේකැ” යි ප්‍රකාශ කර ඇත. “දාවිත් ම උන්වහන්සේට ‘ස්වාමින්වහන්සේ ය’ කියයි නම් උන්වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ දැ?” යි ඇසූ සේක. රැස් ව සිටි විශාල පිරිස උන්වහන්සේට ප්‍රීතියෙන් සවන් දුන්හ. උන්වහන්සේ උගන්වමින්, “දහම් පඬිවරුන්ගෙන් පරෙස්සම් වන්න; දිග ලෝගු ඇඳ, සක්මන් කිරීමට කැමති ඔවුන්, ප්‍රසිද්ධ ස්ථානවලදී ගෞරවාචාර ලැබීමටත්, සිනගෝගවල විශේෂ ආසන දැරීමටත්, මංගල සාදයන්හි දී ගෞරවනීය ස්ථාන දැරීමටත් කැමති ය. ඔවුහු වැන්දඹුවන්ගේ ගේ-දොර කොල්ල කති. අනුන්ට පෙනෙන්නට දීර්ඝ යාච්ඤා පවත්වති. ඔවුන් වඩා බරපතළ දඬුවම් ලබනු ඇතැ” යි පැවසූ සේක. ඉන්පසු උන්වහන්සේ දේව මාලිගයේ පඬුරු පෙට්ටියට ඉදිරියෙන් වාඩි වී, ජනයා පඬුරු පෙට්ටියට පඬුරු දමන අයුරු බලා සිටි සේක. ධනවතුන් බොහෝ දෙනෙක් මුදල් වැඩි ගණනක් ඊට දැමූහ. එහෙත් දිළිඳු වැන්දඹුවක් පැමිණ, සතයක් වටිනා තඹ කාසි දෙකක් දැමුවා ය. එවිට තම ගෝලයින් කැඳවූ යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “සැබවින් ම මා ඔබට කියන්නේ, පඬුරු පෙට්ටියට මුදල් දැමූ අන් සියල්ලන්ට ම වඩා මේ දිළිඳු වැන්දඹුව දැමූ බවයි. අන් සැවොම දැමුවේ තමන්ට වැඩිමනත් ධනයෙනි. එහෙත් මෑ තමන්ට අග හිඟ ව තිබියදීත්, ජීවත්වීමට තිබූ සියල්ල දැමුවා යැ” යි පැවසූ සේක.

ශු. මාර්ක් 12:35-44 Sinhala Revised Old Version (SROV)

යේසුස්වහන්සේ දේවමාළිගාවේ උගන්වද්දී උත්තරදෙමින්: ක්‍රිස්තුස්වහන්සේ දාවිත්ගේ පුත්‍රයායයි ලියන්නෝ කෙසේ කියද්ද? දාවිත්ම ශුද්ධාත්මයාණන් කරණකොට කථාකරමින්: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කොට තබන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගනින්නැයි ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්වහන්සේට කීසේකැයි කීය. දාවිත්ම උන්වහන්සේට ස්වාමීන්වහන්සේයයි කියයි; එසේ නම් උන්වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේදැයි ඇසූසේක. සාමාන්‍ය ජනයා උන්වහන්සේට සන්තෝෂයෙන් ඇහුම් කන්දුන්නෝය. උන්වහන්සේ තමන් ඉගැන්වීමේදී කියනසේක්: උතුරු සළු ඇඳ ඇවිදීමටත් කඩපිල්වලදී ආචාර ලැබීමටත් සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටත් මංගල්‍යවලදී ප්‍රධාන ස්ථානවලටත් කැමතිවන්නාවූද, වැන්දඹුවන්ගේ ගෙවල් කොල්ලකන්නාවුද, වංචාවට දීර්ඝ යාච්ඤාකරන්නාවුද ලියන්නන්ගෙන් ප්‍රවේසම්වෙන්න; ඔව්හු වඩා බරපතළ දඬුවමක් ලබන්නෝයයි කීසේක. උන්වහන්සේ මුදල් ගබඩාව ඉදිරියෙහි වැඩහිඳ සෙනඟ ගබඩාවට මුදල් දමන හැටි බලාහුන්සේක. වස්තුකාරයෝ බොහෝ දෙනෙක් හුඟක් දැමුවෝය. දිළිඳු වැන්දඹුවක් ඇවිත් ශතයක් වටිනා සල්ලි දෙකක් දැමුවාය. උන්වහන්සේ ගෝලයන් තමන් වෙතට කැඳවා: සැබවක් නුඹලාට කියමි–ගබඩාවේ මුදල් දමන සියල්ලන්ට වඩා මේ දිළිඳු වැන්දඹුව දැමුවාය. මක්නිසාද ඒ සියල්ලෝ තමුන්ගේ වැඩිමනත් දෙයින් දැමුවෝය. නුමුත් මෑ වනාහි තමාගේ හිඟකමෙන් තමාගේ රක්ෂාවීමට තිබුණු සියල්ලම දැමුවායයි කීසේක.

ශු. මාර්ක් 12:35-44 Sinhala New Revised Version (NRSV)

ජේසුස් වහන්සේ දේව මාලිගාවෙහි අනුශාසනා කරමින්, “ක්‍රිස්තුන් වහන්සේ දාවිත්ගේ පුත්‍රයා යයි විනයධරයෝ කෙසේ කියත් ද? දාවිත් ම ශුද්ධාත්මානුභාවයෙන් කතා කරමින්: ‘මා ඔබ සතුරන් ඔබ පාද යට ලන තෙක් මා දකුණු පස අසුන් ගන්න කියා සමිඳාණෝ මා සමිඳුන්ට වදාළ සේකැ’යි කී ය. දාවිත් උන් වහන්සේට ‘සමිඳුන්’ කියා අමතයි. එසේ නම්, උන් වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ දැ”යි ඇසූ සේක. මහා ජනකායක් උන් වහන්සේට සතුටින් සවන් දුන්හ. උන් වහන්සේ සිය අනුශාසනාවේ දී කතා කරමින්, “විනයධරයන්ගෙන් පරෙස්සම් වන්න. ඔව්හු දිග උතුරු සළු හැඳ සක්මන් කරන්න ද වෙළෙඳපොළවල දී ගෞරවාචාර ලබන්න ද ප්‍රිය වෙති; ධර්මශාලාවල දී මූලාසනවලටත්, මංගල භෝජනවල දී සම්භාවනීය ආසන ලබන්ටත් ප්‍රිය වෙති; වැන්දඹුවන්ගේ ගේදොර කාදමති; පෙනුමට දිගින් දිගට යාච්ඤා කරති; මොවුහු වඩාත් බරපතල දඬුවමක් ලබති”යි වදාළ සේක. උන් වහන්සේ දේව මාලිගාවේ මුදල් ගබඩාව ඉදිරියේ වැඩ හිඳ සෙනඟ එයට මුදල් දමනු බලා හුන් සේක. ධනපතීහු බොහෝ දෙනෙක් බොහෝ මුදල් දැමූ හ. එක් දිළිඳු වැන්දඹුවක් අවුත්, සතයක් පමණ වටිනා තඹ සල්ලි දෙකක් දැමුවා ය. උන් වහන්සේ ශ්‍රාවකයන් තමන් වෙත කැඳවා, “සැබැවින් ම මම ඔබට කියමි, මේ දිළිඳු වැන්දඹුව ගබඩාවට මුදල් දැමූ අනික් හැම දෙනාට ම වැඩියෙන් දැමුවා ය. ඒ කවුරුත් තමන්ගේ වැඩිපුර මුදලින් යමක් දැමූ හ. එහෙත් මෑ, දුප්පත් ව සිටිය දීත් සිය දිවිපෙවෙත සඳහා තිබුණු මුළු වත්කම ම දැමුවා ය”යි වදාළ සේක.

ශු. මාර්ක් 12:35-44 Sinhala New Revised Version 2018 (SNRV)