ශු. මතෙව් 19:22-30

ශු. මතෙව් 19:22-30 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඒ ඇසූ තරුණයා සොවට පත් ව, ඉවත් ව ගියේ ය. මන්ද ඔහු මහ ධනයක් හිමි ව සිටියේ ය. එවිට යේසුස්වහන්සේ තම ගෝලයින් අමතමින්, “සැබවින් ම මා ඔබට කියන්නේ, ධනවතකුට ස්වර්ග රාජ්‍යයට ඇතුළු විය හැක්කේ, මහත් අසීරුවෙන් පමණක් බවයි. නැවතත් මා ඔබට කියන්නේ, ධනවතකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා, ඔටුවකුට ඉඳිකටු සිදුරින් රිංගා යෑම පහසු යැ” යි පැවසූ සේක. මේ ඇසූ ගෝලයෝ අතිශයෙන් විස්මිත ව, “එසේ නම් ගැලවෙන්නට හැක්කේ කවරකුට දැ?” යි ඇසූහ. එවිට ඔවුන් දෙස බැලූ යේසුස්වහන්සේ, “මිනිසුන්ට මෙය කොහෙත් ම කළ නො හැකි ය. එහෙත් දෙවියන්වහන්සේට සියල්ල පුළුවනැ” යි පැවසූ සේක. එවිට පේතෘස් පිළිතුරු දෙමින්, “බලන්න, අප හැම දෙයක් ම අත්හැර, ඔබ අනුගමන කළා; එහෙයින් මොනවද අපට ලැබෙන්නේ?” යි ඇසී ය. යේසුස්වහන්සේ ඔවුන්ට කියන සේක්, “සැබවින් ම මා ඔබට කියන්නේ, සියල්ල අලුත් කිරීමේදී, මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය තේජසේ සිංහාසනයේ හිඳ ගන්නා කල, මා අනුව ආ ඔබත් ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ දොළොස විනිශ්චය කරමින්, සිංහාසන දොළහක් මත හිඳ ගන්නා බවයි. තවද ගේ-දොර, සහෝදර-සහෝදරියන්, මව හෝ පියා හෝ දරුවන් හෝ ඉඩ කඩම් හෝ මගේ නාමය උදෙසා අත් හළ හැම කෙනකුට ම ඒ හා සිය ගුණයක් ලැබෙනු ඇත. සදාතන ජීවනය ද උරුම වනු ඇත. එහෙත් ප්‍රථමයින් වන බොහෝ දෙනෙක් අන්තිමයින් ද අන්තිමයින් බොහෝ දෙනෙක් ප්‍රථමයින් ද වනු ඇත.

ශු. මතෙව් 19:22-30 Sinhala Revised Old Version (SROV)

නුමුත් යෞවනයා ඒ කීම අසා, තමා බොහෝ සම්පත් ඇති කෙනෙක්ව සිටි බැවින්, ශෝකයෙන් යන්ට ගියේය. එවිට යේසුස්වහන්සේ ගෝලයන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි-ධනවන්තයෙකුට ස්වර්ගරාජ්‍යයට ඇතුල්වීම අමාරුය. නැවතත් නුඹලාට කියමි-ධනවන්තයෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙනාවට වඩා ඔටුවෙකුට ඉදිකටුවක සිදුරෙන් යන්ට පහසුයයි කීසේක. ගෝලයෝ ඒ අසා ඉතා විස්මපත්ව: එසේවී නම් ගැළවෙන්ට පුළුවන් කාටදැයි කීවෝය. යේසුස්වහන්සේ ඔවුන් දෙස බලමින්: ඒක මනුෂ්‍යයන්ට නම් නුපුළුවන; නුමුත් දෙවියන්වහන්සේට සියල්ලම පුළුවනැයි කීසේක. එවිට පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: අපි සියල්ල අත්හැර ඔබවහන්සේ අනුව ආවෙමුව; එබැවින් අපට ලැබෙන්නේ කුමක්දැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි–අලුත් උත්පාදයේදී මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ තේජසේ සිංහාසනය පිට වැඩහිඳින කල, මා අනුව ආවාවූ නුඹලාත් ඉශ්‍රායෙල්ගේ ගෝත්‍රයන් දොළොස විනිශ්චයකරමින් සිංහාසන දොළොසක් පිට හිඳින්නහුය. ඇරත් මාගේ නාමය නිසා ගෙවල් හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මවු හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරියාවූ යමෙක් ඇද්ද, ඔහු සියක් ගුණයක් ලබන්නේය, සදාකාල ජීවනයටත් උරුමක්කාරයා වන්නේය. නුමුත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝද අන්තිමයෝ ප්‍රථමයෝද වන්නෝයයි කීසේක.

ශු. මතෙව් 19:22-30 Sinhala New Revised Version (NRSV)

එහෙත්, ඒ තරුණයා ඒ කීම අසා, දොම්නස් සිතින් යන්න ගියේ ය. මන්ද, ඔහු බොහෝ ධනසම්පත් ඇති කෙනෙකු වූ බැවිනි. එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි. ධනපතියෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම දුෂ්කර ය. යළිත් මම ඔබට කියමි, ධනපතියෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසු ය”යි වදාළ සේක. ශ්‍රාවකයෝ ඒ අසා අතිශයින් මවිත වී, “එසේ නම් ගැළවීම ලැබිය හැක්කේ කවරෙකුට දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ ඔවුන් දෙස බලා, “මිනිසුන්ට නම් එසේ කළ නොහැකි ය; එහෙත් දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය”යි වදාළ සේක. එවිට පේදුරු කතා කරමින්, “බලන්න, අපි නම් සියල්ල අත්හැර දමා ඔබ අනුව ආවෙමු; එහෙයින් අපට කුමක් ලැබේ දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, මෙසේ වදාළ සේක: “සැබැවින් ම මම ඔබට කියමි, මතු ඇති වන නව යුගයේ දී මනුෂ්‍ය-පුත්‍රයාණන් මහිමාන්විත ව සිංහාසනයේ වැඩ හිඳින කල, මා අනුගාමී වූ ඔබත් ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින් සිංහාසන දොළොසක් පිට හිඳින්නහු ය. ඇරත් මාගේ නාමය නිසා, ගේදොර හෝ සොහොයුරන් හෝ සොහොයුරියන් හෝ පියා හෝ මව හෝ දූ පුතුන් හෝ ගම්බිම් හෝ අත්හළ කවරෙකු වුව ද, ඔහු ඒ වෙනුවට සිය ගුණයක් ලබන්නේ ය; සදාතන ජීවනය ද හිමි කරගන්නේ ය. එහෙත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝ ද අන්තිමයෝ ප්‍රථමයෝ ද වන්නෝ ය.”

ශු. මතෙව් 19:22-30 Sinhala New Revised Version 2018 (SNRV)