ශු. මතෙව් 17:1-13

ශු. මතෙව් 17:1-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)

දින හයකට පසු යේසුස්වහන්සේ, පේතෘස් ද යාකොබ් හා ඔහුගේ සහෝදර යොහන් ද තමන් හා කැටුව උස් කන්දකට ඔවුන් ගෙන ගිය සේක. උන්වහන්සේ එහිදී ඔවුන් ඉදිරියේ අන් ස්වරූපයක් වූ සේක. උන්වහන්සේගේ මුහුණ හිරු මෙන් බැබළිණි; උන්වහන්සේගේ වස්ත්‍ර ආලෝකය සේ සුදු විණි. එවිට මෙන්න! මෝසෙස් හා එලියා උන්වහන්සේ සමඟ කතා කරමින් සිටිනු ඔවුනට පෙනිණි. එවිට පේතෘස් යේසුස්වහන්සේ අමතා, “ස්වාමිනි, මෙහි සිටීම අපට හොඳයි; ඔබ කැමති නම්, මම කූඩාරම් තුනක් සාදන්නම්; ඔබට එකක්, මෝසෙස්ට එකක්, එලියාට එකක්” යැයි පැවසී ය. ඔහු කතා කරද්දී ම, මෙන්න, දීප්තිමත් වලාකුළක් ඔවුන් වසාගෙන; ඒ වලාවෙන් කටහඬක් නික්මී, “මේ මගේ ප්‍රේමණීය පුත්‍රයා ය; මොහු කෙරේ මම බොහෝ ප්‍රසන්න ව සිටිමි. එතුමාණන්ට සවන් දෙනු” යි කියැවිණි. එය ඇසූ කල ගෝලයෝ භීතියෙන් වෙළී, වැටී, මුහුණ බිමට නමා ගත්හ. එහෙත් යේසුස්වහන්සේ ඔවුන් වෙත අවුත් ඔවුනට අත ගසා, “නැගිටින්න, බිය නො වන්නැ” යි කී සේක. ඔවුහු නෙත් දල්වා බැලූ කල, යේසුස්වහන්සේ හැර අන් කිසිවකු එහි නො දුටුවහ. ඔවුන් කන්දෙන් බැස එද්දී, යේසුස්වහන්සේ ඔවුන්ට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රයාණන් මළවුන්ගෙන් නැගිටින තෙක් ඔවුන් දුටු දෑ කිසිවකුටත් නො කියන්නැ” යි අණ කළ සේක. එවිට ගෝලයෝ ප්‍රශ්න කරමින්, “එසේ නම්, පළමු කොට එලියා පැමිණිය යුතු යැයි දහම් පඬිවරුන් කියන්නේ මන්දැ?” යි ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම එලියා එන්නේ ය; හැම දේ ම ඔහු නැවත පිහිටවනු ඇත. එහෙත් මා ඔබට කියන්නේ, එලියා දැනටමත් පැමිණ ඇති බවයි. ඔවුහු ඔහු හැඳින ගැනීමට අපොහොසත් ව, තමන්ට රිසි හැම දෙයක් ම ඔහුට කළහ. මනුෂ්‍ය පුත්‍රයා ද එලෙස ම ඔවුන් අතින් වධ විඳිනු ඇතැ” යි කී සේක. උන්වහන්සේ එසේ පැවසුවේ, යොහන් බව්තීස්ත ගැන බැව් උන්වහන්සේගේ ගෝලයෝ එවිට වටහා ගත්හ.

ශු. මතෙව් 17:1-13 Sinhala Revised Old Version (SROV)

සදවසකට පසු යේසුස්වහන්සේ පේතෘස්ද යාකොබ්ද ඔහුගේ සහෝදරවූ යොහන්ද පමණක් කැඳවාගෙන උස්වූ කන්දකට වෙන්ව ගියසේක. උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන්වෙසක්වූසේක. උන්වහන්සේගේ මුහුණ සූර්යයා මෙන් බැබළුවේය, උන්වහන්සේගේ වස්ත්‍රද ආලෝකය මෙන් සුදුවූයේය. බලව, මෝසෙස්ද එලියාද උන්වහන්සේ සමඟ කථාකරමින් සිටිනවා ඔවුන්ට පෙනුණේය. පේතෘස් උත්තරදෙමින් යේසුස්වහන්සේට කථාකොට: ස්වාමිනි, අපට මෙහි සිටීම යහපත; ඔබ කැමතිසේක්නම්, ඔබට එකක්ද මෝසෙස්ට එකක්ද එලියාට එකක්ද බැගින් මෙහි මණ්ඩප තුනක් සාදන්නෙමියි කීවේය. ඔහු කථාකරද්දීම දීප්තිමත් වලාපටලයක් ඔවුන් මත්තෙහි පැතිර තිබුණේය. බලව, මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි; මොහුට ඇහුම්කන්දෙව්යයි වලාපටලයෙන් හඬක් විය. ගෝලයෝ ඒ අසා, මුහුණින් වැටී, අතිශයින් භය පත්වූවෝය. යේසුස්වහන්සේ ඇවිත් ඔවුන්ට අතගසා: නැගිටින්න, භය නොවෙන්නැයි කීසේක. ඔව්හු ඇස් ඔසවා බලා, යේසුස්වහන්සේ හැර වෙන කිසිවෙකු නුදුටුවෝය. ඔවුන් කන්දෙන් බසින කල යේසුස්වහන්සේ ඔවුන්ට අණකරමින්: මනුෂ්‍ය පුත්‍රයා මළවුන්ගෙන් නැගිටින තුරු මේ දර්ශනය කාටවත් නොකියන්නැයි කීසේක. උන්වහන්සේගේ ගෝලයෝ කථාකොට: එසේවී නම් එලියා පළමුවෙන් එන්ට ඕනෑයයි ලියන්නෝ කුමක් නිසා කියන්නෝදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. උන්වහන්සේ උත්තරදෙමින්: එලියා එන්නේමය, ඇවිත් සියල්ල නැවත පිහිටුවන්නේය. නුමුත් නුඹලාට කියමි–එලියා ආවේය, ඔව්හු ඔහු නෑඳින, යමක් යමක් කරන්ට කැමතිවූවෝද ඒ ඒ දේ ඔහුට කළෝය. එසේම මනුෂ්‍ය පුත්‍රයාත් ඔවුන්ගෙන් පීඩා විඳින්නේයයි ඔවුන්ට කීසේක. උන්වහන්සේ යොහන් බව්තීස්ත ගැන තමුන්ට කථාකළ බව එකල ගෝලයෝ තේරුම්ගත්තෝය.

ශු. මතෙව් 17:1-13 Sinhala New Revised Version (NRSV)

සදවසකට පසු ජේසුස් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ඔහුගේ සහෝදර ජොහන් ද කැඳවාගෙන, වෙන් ව උස් කන්දකට වැඩිය සේක. උන් වහන්සේ ඔවුන් අබිමුවෙහි අන්වෙසක් වූ සේක. උන් වහන්සේගේ මුහුණ හිරු මෙන් බැබළිණි; වස්ත්‍ර ද ආලෝකය මෙන් සුදු විය. එකෙණෙහි ම මෝසෙස් ද එලියා ද උන් වහන්සේ සමඟ කතා කරමින් සිටිනු ඔවුන්ට පෙනිණි. පේදුරු ජේසුස් වහන්සේට කතා කොට, “ස්වාමීනි, අපට මෙහි සිටින්න ලැබීම වාසනාවකි; ඔබ කැමැති සේක් නම්, මණ්ඩප තුනක්, එකක් ඔබට ද එකක් මෝසෙස්ට ද එකක් එලියාට ද සාදන්නෙමි”යි කී ය. ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා, පැතිරිණි. තවද, “මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි; මොහුට සවන් දෙන්නැ”යි කියන හඬක් නික්මිණි. ශ්‍රාවකයෝ ඒ අසා, අතිශයින් බියපත් වී මුහුණින් වැටුණාහ. ජේසුස් වහන්සේ අවුත්, ඔවුන්ට අත ගසා, “නැඟිටින්න, බිය නොවන්නැ”යි වදාළ සේක. ඇස් ඔසවා බැලූ කල ඔව්හු ජේසුස් වහන්සේ හැර වෙන කිසිවෙකු නුදුටුවෝ ය. ඔවුන් කන්දෙන් බැස එද්දී ජේසුස් වහන්සේ කතා කරමින්, “මනුෂ්‍ය-පුත්‍රයාණන් මළවුන් කෙරෙන් නැඟිටින තුරු මේ දර්ශනය කිසිවෙකුට නොකියන්නැ”යි ඔවුන්ට අණ කළ සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කොට, “එසේ නම්, එලියා පළමුවෙන් එන්න යුතු ය යි විනයධරයන් කියන්නේ මන්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. උන් වහන්සේ උත්තර දෙමින්, “එලියා එන බව ඒකාන්ත ය. ඔහු අවුත් සියල්ල යළි පිහිටුවන්නේ ය. එහෙත්, ඔබට කියමි: එලියා දැනට ම පැමිණ සිටී, ඔව්හු ඔහු නොහැඳින, තමන් රිසි දෙය ඔහුට කළහ. එලෙස ම ඔවුන් මනුෂ්‍ය-පුත්‍රයාණන්ට ද පීඩා කරනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක. උන් වහන්සේ මෙය කීවේ ස්නාවක ජොහන් ගැන බව ශ්‍රාවකයෝ තේරුම්ගත්හ.

ශු. මතෙව් 17:1-13 Sinhala New Revised Version 2018 (SNRV)

ශු. මතෙව් 17:1-13 New International Version (NIV)

After six days Jesus took with him Peter, James and John the brother of James, and led them up a high mountain by themselves. There he was transfigured before them. His face shone like the sun, and his clothes became as white as the light. Just then there appeared before them Moses and Elijah, talking with Jesus. Peter said to Jesus, “Lord, it is good for us to be here. If you wish, I will put up three shelters—one for you, one for Moses and one for Elijah.” While he was still speaking, a bright cloud covered them, and a voice from the cloud said, “This is my Son, whom I love; with him I am well pleased. Listen to him!” When the disciples heard this, they fell facedown to the ground, terrified. But Jesus came and touched them. “Get up,” he said. “Don’t be afraid.” When they looked up, they saw no one except Jesus. As they were coming down the mountain, Jesus instructed them, “Don’t tell anyone what you have seen, until the Son of Man has been raised from the dead.” The disciples asked him, “Why then do the teachers of the law say that Elijah must come first?” Jesus replied, “To be sure, Elijah comes and will restore all things. But I tell you, Elijah has already come, and they did not recognize him, but have done to him everything they wished. In the same way the Son of Man is going to suffer at their hands.” Then the disciples understood that he was talking to them about John the Baptist.