ශු. ලූක් 1:1-9

ශු. ලූක් 1:1-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අප අතර ඉටු වූ දෑ ගැන වාර්තාවක් සම්පාදන කිරීම බොහෝ දෙනකු ම බාරගෙන ඇත්තේ, ඒවා මුල පටන් ඇසින් දුටු සාක්ෂිකරුවන් හා වචනයේ සේවකයින් අපට බාර දුන් දෑ අනුව ය. මුල සිට ඒ සියලු දෑ විමසා බැලූ පසු, ඒවා අනුපිළිවෙලින් ඔබට ලියා එවීම මැනවයි මා අදහස් කළේ, ගරු තියෝපිලස් තුමනි, ඔබට උගන්වන ලද දෑ පිළිබඳ නියත අවබෝධයක් එමඟින් ඔබට ලැබිය හැකි බැවිනි. යුදයේ රජු වූ හෙරෝද්ගේ දවස්හි, අබියාගේ කාණ්ඩයට අයත් සෙකරියස් නම් පූජකයෙක් විසී ය. ඔහුට ආරොන්ගේ දියණියන්ගෙන් භාර්යාවක වූවා ය. ඈ නමින් එලිසබෙත් ය. ස්වාමින්වහන්සේගේ සියලු අණ හා පණත්වල නිර්දෝෂී ව හැසුරුණු මොවුන් දෙදෙනා, දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨයින් වූහ. එහෙත් ඔවුනට දරුවන් සිටියේ නැත; මන්ද එලිසබෙත් වඳ ස්ත්‍රියක වූවා ය; තවද ඔවුන් දෙදෙනා ම සිටියේ වයස්ගත ව ය. දේව මෙහෙවර සඳහා වාරය තම කාණ්ඩයට බාර වූ විටෙක, සෙකරියස් දෙවියන්වහන්සේ ඉදිරියේ පූජක මෙහෙයයේ යෙදෙමින් සිටියේ, පූජකත්වයේ චාරිත්‍රයට අනුව ස්වාමින්වහන්සේගේ මාලිගයට ඇතුල් ව, සුවඳ දුම් දැවීමේ වාරය පස ඇට දැමීමෙන් ඔහු තෝරාගනු ලැබීමෙනි.

ශු. ලූක් 1:1-9 Sinhala Revised Old Version (SROV)

අති උත්තමවූ තියෝපිලස්නි, පටන්ගැන්මේ සිට ඇසින් දුටුවාවුන් හා වචනයේ සේවකයන්ව සිටි අය විසින් අපට දන්වා දුන් ප්‍රකාරයට, අප අතරෙහි ඉෂ්ටවී තිබෙන කාරණා ගැන කථාවස්තුවක් රචනාකරන්ට බොහෝ දෙනෙකු විසින් පටන්ගෙන තිබෙන බැවින්, ඔබ යමක් ගැන ඉගනීම ලැබුයෙහිද ඒ කාරණාවල සත්‍යකම ඔබ විසින් දැනගන්නා පිණිස, මමත් මුල පටන් ක්‍රමයට සියලු කාරණා හරියාකාර විමසා බලා, ඒ දේ පිළිවෙළින් ඔබට ලියා එවීම සුදුසුයයි සිතුවෙමි. යුදයේ රජවූ හෙරොද්ගේ කාලයේදී අබියාගේ පංතියෙහි සෙකරියස් නම් එක්තරා පූජකයෙක් සිටියේය. ඔහුට ආරොන්ගේ දූවරුන්ගෙන් භාර්යාවක් වූවාය, ඇගේ නම එලිසබෙත්ය. ඔවුන් දෙදෙනාම ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා හා නියෝගවල නිර්දෝෂව හැසිරෙමින්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨව සිටියෝය. එලිසබෙත් වඳ බැවින් ඔවුන්ට දරුවෙක් නොවීය, ඔවුන් දෙදෙනාම වයස්ගතව සිටියෝය. තවද ඔහු තමාගේ පංතියේ ක්‍රමය ලෙස දෙවියන්වහන්සේ ඉදිරියෙහි පූජක මෙහෙය කරන කල, ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුල්ව සුවඳ දුම් ඔප්පුකිරීමට වාරය පූජකයාගේ නිලයේ සිරිත ලෙස පසඇට දැමීමෙන් ඔහුට වැටුණේය.

ශු. ලූක් 1:1-9 Sinhala New Revised Version (NRSV)

ශ්‍රීමත් තියෝපිලස් තුමෙ‍නි, අප අතර ඉටු වී ඇති සිද්ධීන් අලළා කථා වස්තුවක් සම්පාදනය කිරීමට බොහෝ දෙනෙකු උත්සාහ කර ඇත. ඔවුන් එසේ කර ඇත්තේ ඒ සිද්ධීන් මුල සිට ම සියැසින් දුටු අය හා දහම් පණිවුඩය දෙසූ අය අපට භාර දුන් කරුණු අනුව ය. එබැවින්, මුල සිට ම සියල්ල තතු පරිදි විමසා බැලූ මට ද ඔබ උදෙසා විධිමත් වෘත්තාන්තයක් ලිවීම මැනවැ යි සිතිණි. මා එසේ ලියන්නේ, ඔබ තුමාණන්ට උගන්වා ඇති කරුණුවල නියම සත්‍යය පහදා දෙන පිණිස ය. ජුදාහි රජ වූ හෙරොද්ගේ කාලයෙහි අබියාගේ පේරුවට අයත් සෙකරියස් නම් එක් පූජක නමක් විය. ඔහුට ආරොන්ගේ පෙළපතෙන් බිරිඳක් වූවා ය. ඇගේ නම එලිසබෙත් ය. මේ යුවල සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග නිවැරදි ව පිළිපදිමින් දෙවියන් වහන්සේ අබිමුවෙහි දැහැමින් විසූ හ. එලිසබෙත් වඳ ව සිටි බැවින් ඔවුන්ට දරුසම්පතක් නො වී ය. ඇරත් ඒ දෙපොළ වයස් ගත ව සිටියහ. සෙකරියස්ගේ පේරුවේ අයට දෙවියන් වහන්සේ ඉදිරියෙහි පූජක කටයුතු කරන අවස්ථාව පැමිණි විට, පූජක නිල පිළිවෙළින් සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයට පිවිස සුවඳ දුම් පූජා කිරීමේ වාරය, දාදු දැමීමෙ‍න්, සෙකරියස්ට පැවරිණි.

ශු. ලූක් 1:1-9 Sinhala New Revised Version 2018 (SNRV)