යාකොබ් 1:9-27 - Compare All Versions
යාකොබ් 1:9-27 SCV (සිංහල කාලීන පරිවර්තනය)
පහත් ව සිටින සහෝදරයා, පාරට්ටු කර ගත යුත්තේ තම උසස්වීම ගැන ය; ධනවත් ව සිටින සහෝදරයා තම පහත් වීම ගැන ය. මන්ද කැලෑ මලක් සේ ඔහු පහව යයි. දැඩි උෂ්ණත්වයෙන් යුතු ව හිරු උදා වූ කල, පැළෑටි වියළෙයි. එවිට මල් හැලී එහි ලස්සන පෙනුම නැති වී යයි. ධනවතා ද තම ක්‍රියා මාර්ග අතරේ ම එලෙසින් ම මැලවී යයි. පරීක්ෂා මැද නො සැලී ස්ථිර ව සිටින මිනිසා භාග්‍යවත් ය. මන්ද ඔහු ඒ පරීක්ෂා ඉසිලූ පසු, තමන්වහන්සේට ප්‍රේම කරන්නවුන්ට දෙවියන්වහන්සේ පොරොන්දු වූ ජීවනයේ ඔටුන්න ලබන්නේ ය. පරීක්ෂා කරනු ලබන කල, කිසිවෙක්, “දෙවියන්වහන්සේ මා පොලඹවන සේකැ” යි නො කියත්වා! මන්ද නපුර විසින් දෙවියන්වහන්සේ පරීක්ෂා කළ නො හැක; උන්වහන්සේ කිසිවකු පරීක්ෂා කරන්නේ ද නැත. එහෙත් එක් එක් මනුෂ්‍යයා පොලඹවනු ලබන්නේ, තමාගේ ම තෘෂ්ණාවනට වසඟ වී ඉන් ඇවිස්සුණු කල්හි ය. ඉන්පසු තෘෂ්ණාව පිළිසිඳ පාපය බිහි කරයි; පාපය මෝරා වැඩී මරණය උපද්දයි. නො රැවටෙන්න මා ප්‍රේමණීය සහෝදරයිනි. හැම හොඳ ත්‍යාගයක් ම, හැම සම්පූර්ණ ත්‍යාගයක් ම වෙනස් වීමක් හෝ වෙනස් වීමේ සේයාවක් හෝ නැති ආලෝකයේ පියාණන්වහන්සේ වෙතින් ඉහළ සිට බැස එයි. උන්වහන්සේගේ මැවිලි අතර, අප නාඹුල් පල විශේෂයක් වන පිණිස, උන්වහන්සේ තමන්ගේ ම අභිමතය පරිදි සත්‍යතාවේ වචනයෙන් අප උත්පාද කළ සේක. මෙය සිහි තබා ගන්න, මා ප්‍රේමණීය සහෝදරයිනි, හැම කෙනෙක් ම ඇසීමට ඉක්මන් වන්න. කතා කිරීමට පමා වන්න. කෝපවීමටත් පමා වන්න. මන්ද දෙවියන්වහන්සේට ඕනෑ කරන ධර්මිෂ්ඨකම මිනිස් කෝපයෙන් ඉටු වන්නේ නැත. එබැවින් සියලු අපවිත්‍රතා හා ගහන ව ඇති දුෂ්ටකම ඉවත ලා, ඔබගේ ආත්මය ගලවන්නට සමත්, ඔබ තුළ පැළ කරන ලද වචනය මෘදු ලෙස පිළිගන්න. එහෙත් එය අසන්නන් පමණක් නො වී, තමන් නො රවටාගෙන, වචනය පිළිපදින්නන් වන්න. වචනය අසන්නකු වන නමුත්, එය නො පිළිපදින්නකු වන කවරකු වුව, ඕනෑකමින් කැඩපතකින් තම ස්වාභාවික මුහුණ බලන මිනිසකුට සමාන ය. මන්ද ඔහු තමා දිහා බලා, පිටත් ව ගොස්, තමා කෙබඳුදැයි විගස අමතක කරයි. එහෙත්, සම්පූර්ණ නීතිය වන නිදහසේ නීතිය නිරීක්ෂණ කරමින්, අමතක කරන අසන්නකු නො වී, ඒවා දිගට ම අභ්‍යාස කරන්නා, තමන් කරන දෙයින් ම ආශිර්වාද ලබයි. යමෙක් තම දිව පාලනය නො කර, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු තමා ම රවටා ගනී. ඔහුගේ භක්තිවන්තකම ද හිස් එකකි. පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ඉදිරියේ පවිත්‍ර, නිර්දෝෂ භක්තිවන්තකම වන්නේ, අනාථ දරුවනට හා වැන්දඹුවනට ඔවුන්ගේ විපතේදී පිහිට වීමත්, තමා ලෝකයෙන් දූෂ්‍ය නො වී පැවත සිටීමත් ය.
යාකොබ් 1:9-27 SROV (Sinhala Revised Old Version)
නුමුත් පහත් අඩියක සිටින සහෝදරයා තමාගේ උසස්වීම ගැනද, ධනවතා තමාගේ පහත්වීම ගැනද පාරට්ටුකෙරේවා. මක්නිසාද ඔහු තණ මලක් මෙන් පහවයන්නේය. මක්නිසාද සූර්යයා තද රස්නයෙන් යුක්තවූ සුළඟින් උදාවී, තණකොළ වියළවයි; ඒවායේ මල් වැටී පෙනීමේ අලංකාරය නැතිවීයන්නේය. එසේම ධනවතා තමාගේ මාර්ගවලදී මැළවී යන්නේය. පරීක්ෂාව ඉවසන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. මක්නිසාද ඔහු ඒත්තුගනු ලැබූ කල, තමන්ට ප්‍රේමකරන්නවුන්ට ස්වාමීන්වහන්සේ විසින් පොරොන්දුවුණාවූ ජීවනය නම් ඔටුන්න ලබන්නේය. යමෙක් පරීක්ෂාකරනු ලබන කල: මම දෙවියන්වහන්සේගෙන් පරීක්ෂාකරනු ලබමියි නොකියාවා. මක්නිසාද දෙවියන්වහන්සේ නපුරෙන් පරීක්ෂාකරනු ලබන්ට නුපුළුවන, උන්වහන්සේම කිසිවෙකු පරීක්ෂානොකරනසේක. නුමුත් එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොලඹවනු ලබන කල්හිද පරීක්ෂාකරනු ලබයි. එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය බිහිකරන්නීය. පාපයද සම්පූර්ණවූ කල්හි මරණය උපදවයි. මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නොරැවටෙන්න. සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තාවූ ආලෝකවල පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය. අප උන්වහන්සේගේ මැවිලිවල නාඹුල් ඵල විශේෂයක් වන පිණිස තමන්ගේම කැමැත්ත ලෙස සත්‍යතාවේ වචනයෙන් අප ඉපදවූසේක. මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නුඹලා මේක දන්නහුය. නුමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා. මක්නිසාද මනුෂ්‍යයාගේ උදහසින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය. එහෙයින් සියලු කිලුටුකමද අධික දුෂ්ටකමද පහකොට, නුඹලාගේ ප්‍රාණ ගළවන්ට පුළුවන්වූ, පිහිටුවනලද වචනය මෘදුකමින් යුක්තව පිළිගන්න. නුමුත් නුඹලාම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න. මක්නිසාද යමෙක් වචනය අසන නුමුත් එය පිළිපදින්නේ නැත්නම්, ඔහු කැඩපතකින් තමාගේ ස්වාභාවික මුහුණ බලන මනුෂ්‍යයෙකුට සමානය. මක්නිසාද ඔහු තමාම බලාගනිමින් සිට අහක්ව ගිය කල, තමා කෙබඳු මනුෂ්‍යයෙක්ව සිටියේදැයි එවෙල්ම මතක නැතිකරයි. නුමුත් නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගන, මතක නැතිකරන අසන්නෙක් නොවී, ක්‍රියාකරන කෙනෙක්ව, එසේ පවතින්නාවූ තැනැත්තේම තමාගේ ක්‍රියාකිරීමෙහිදී ආශීර්වාද ලබන්නේය. යමෙක් තමාගේ දිව යටත්කර නොගෙන, තමාගේ සිත රවටාගනිමින්, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහුගේ භක්තිය හිස්ය. අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදුවූ නොකිලුටුවූ භක්තිය නම්, මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීමත්, ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම ආරක්ෂාකරගැනීමත්ය.
යාකොබ් 1:9-27 NRSV (Sinhala New Revised Version)
පීඩිත තත්ත්වයක සිටින සහෝදරයා තමා උසස් කරනු ලැබීම ගැන ද, ධනපතියා තමා පහත් කරනු ලැබීම ගැන ද උදන් අනා වා. මන්ද, ධනවතා තණ මලක් මෙන් පහ ව යන්නේ ය. දැවෙන හිරු කිරණින් තණ කොළ වියළී යයි; ඒවායේ මල් පෙති වැටී යයි. එහි සෞන්දර්යය පහ වී යයි. එලෙස ම ධනවතා සිය උපාය මාර්ගවල දී මැල වී යයි. කම්කටොලු ඉවසන මනුෂ්‍යයා භාග්‍යවන්තයෙකි. මන්ද, ඔහු පරීක්ෂාවෙන් ජය ලැබූ කල, දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නවුන්ට උන් වහන්සේ පොරොන්දු වූ, ජීවන කිරීටය ලබන්නේ ය. පරීක්ෂා කරනු ලබන කල, “මා පොළඹවන්නේ දෙවියන් වහන්සේ ය”යි කිසිවෙක් නොකියා වා. දෙවියන් වහන්සේ නපුරෙන් පෙළඹෙන්නේ නැත. කිසිවෙකු පොළඹවන්නෙත් නැත. ඒ ඒ මිනිසාට පරීක්ෂාව පැමිණෙන්නේ තම තමාගේ ම තෘෂ්ණාවෙන් මුළා වී පෙළඹෙන විට ය. මෙසේ තෘෂ්ණාව පිළිසිඳ, පාපය බිහි කරයි. පාපය ද මුහුකුරා ගොස් මරණය සිදු කරයි. මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නොරැවටෙන්න. සෑම යහපත් දීමනා ද සියලු අගනා ත්‍යාග ද නොවෙනස් වන සුලු, පහ ව යන බවට ඡායා මාත්‍රයකුදු නැති ආලෝකයේ පියාණන් වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේ ය. උන් වහන්සේ මැවූ සත්ත්වයන් අතර අප මුදුන් මල්කඩ වීමේ පෙර ලකුණු වශයෙන්, සිය අරමුණ අනුව උන් වහන්සේ සත්‍ය වචනයෙන් අප ජනිත කළ සේක. මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, මෙය තේරුම්ගන්න. ඔබ එකිනෙකා සවන් දීමට ඉක්මන් වන්න, කතා කිරීමටත් කෝප වීමටත් පමා වන්න. මන්ද, මනුෂ්‍යයාගේ කෝපයෙන් දෙවියන් වහන්සේගේ යුක්තිය ඉටු වන්නේ නැත. එහෙයින් සියලු අධම දෙය ද දමනය කළ නොහැකි දුෂ්ටකම ද ඉවත ලා ඔබට ගැළවීම සාදා දිය හැකි, ඔබ සිත් සතන්හි මුල් බැසගත් දහම් පණිවුඩය යටහත් ලෙස පිළිගන්න. එහෙත්, තමන් ම රවටා නොගෙන දහම් පණිවුඩය අසන්නන් පමණක් නොවී, එය පිළිපදින්නෝ වන්න. මන්ද යමෙක් දහම් පණිවුඩය අසන නමුත් එය නොපිළිපදින්නේ නම්, ඔහු කැඩපතකින් තමාගේ මුහුණ ඇති සැටියෙන් බලන මනුෂ්‍යයෙකුට සමාන ය. ඔහු තම රූපය දෙස බලා අහක් ව ගිය පසු, තමා කෙබඳු මනුෂ්‍යයෙක් දැ යි වහා ම අමතක කරයි. එහෙත් නිදහස ගෙනදෙන සර්ව සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස මැනැවින් බලා, එය අසා අමතක කරන්නෙකු නොවී එය ක්‍රියාවෙහි යොදමින් ඒ අනුව ජීවත් වන තැනැත්තේ එසේ කිරීමෙන් ආසිරි ලබන්නේ ය. යමෙක් තමාගේ දිව දමනය නොකර, තම සිත රවටාගැනීමෙන්, තමා භක්තිවන්තයෙකැ යි සිතන්නේ නම්, ඔහුගේ ආගමෙන් වැඩක් නැත. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිරිසිදු නිර්මල භක්තිය නම්, මව්පියන් නැති දරුවන්ට ද වැන්දඹුවන්ට ද ඔවුන්ගේ විපත්තිවල දී පිහිට වීමත්, ලෝකයෙන් තමා ම කිළුටු නොවී ආරක්ෂා වීමත් ය.
යාකොබ් 1:9-27 SNRV (Sinhala New Revised Version 2018)
පීඩිත තත්ත්වයක සිටින සහෝදරයා තමා උසස් කරනු ලැබීම ගැන ද, ධනපතියා තමා පහත් කරනු ලැබීම ගැන ද උදන් අනා වා. මන්ද, ධනවතා තණ මලක් මෙන් පහ ව යන්නේ ය. දැවෙන හිරු කිරණින් තණ කොළ වියළී යයි; ඒවායේ මල් පෙති වැටී යයි. එහි සෞන්දර්යය පහ වී යයි. එලෙස ම ධනවතා සිය උපාය මාර්ගවල දී මැල වී යයි. කම්කටොලු ඉවසන මනුෂ්‍යයා භාග්‍යවන්තයෙකි. මන්ද, ඔහු පරීක්ෂාවෙන් ජය ලැබූ කල, දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නවුන්ට උන් වහන්සේ පොරොන්දු වූ, ජීවන කිරීටය ලබන්නේ ය. පරීක්ෂා කරනු ලබන කල, “මා පොළඹවන්නේ දෙවියන් වහන්සේ ය”යි කිසිවෙක් නොකියා වා. දෙවියන් වහන්සේ නපුරෙන් පෙළඹෙන්නේ නැත. කිසිවෙකු පොළඹවන්නෙත් නැත. ඒ ඒ මිනිසාට පරීක්ෂාව පැමිණෙන්නේ තම තමාගේ ම තෘෂ්ණාවෙන් මුළා වී පෙළඹෙන විට ය. මෙසේ තෘෂ්ණාව පිළිසිඳ, පාපය බිහි කරයි. පාපය ද මුහුකුරා ගොස් මරණය සිදු කරයි. මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නොරැවටෙන්න. සෑම යහපත් දීමනා ද සියලු අගනා ත්‍යාග ද නොවෙනස් වන සුලු, පහ ව යන බවට ඡායා මාත්‍රයකුදු නැති ආලෝකයේ පියාණන් වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේ ය. උන් වහන්සේ මැවූ සත්වයන් අතර අප මුදුන් මල්කඩ වීමේ පෙර ලකුණු වශයෙන්, සිය අරමුණ අනුව උන් වහන්සේ සත්‍ය වචනයෙන් අප ජනිත කළ සේක. මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, මෙය තේරුම්ගන්න. ඔබ එකිනෙකා සවන් දීමට ඉක්මන් වන්න, කතා කිරීමටත් කෝප වීමටත් පමා වන්න. මන්ද, මනුෂ්‍යයාගේ කෝපයෙන් දෙවියන් වහන්සේගේ යුක්තිය ඉටු වන්නේ නැත. එහෙයින් සියලු අධම දෙය ද දමනය කළ නොහැකි දුෂ්ටකම ද ඉවත ලා ඔබට ගැළවීම සාදා දිය හැකි, ඔබ සිත් සතන්හි මුල් බැසගත් දහම් පණිවුඩය යටහත් ලෙස පිළිගන්න. එහෙත්, තමන් ම රවටා නොගෙන දහම් පණිවුඩය අසන්නන් පමණක් නොවී, එය පිළිපදින්නෝ වන්න. මන්ද යමෙක් දහම් පණිවුඩය අසන නමුත් එය නොපිළිපදින්නේ නම්, ඔහු කැඩපතකින් තමාගේ මුහුණ ඇති සැටියෙන් බලන මනුෂ්‍යයෙකුට සමාන ය. ඔහු තම රූපය දෙස බලා අහක් ව ගිය පසු, තමා කෙබඳු මනුෂ්‍යයෙක් දැ යි වහා ම අමතක කරයි. එහෙත් නිදහස ගෙනදෙන සර්ව සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස මැනැවින් බලා, එය අසා අමතක කරන්නෙකු නොවී එය ක්‍රියාවෙහි යොදමින් ඒ අනුව ජීවත් වන තැනැත්තේ එසේ කිරීමෙන් ආසිරි ලබන්නේ ය. යමෙක් තමාගේ දිව දමනය නොකර, තම සිත රවටාගැනීමෙන්, තමා භක්තිවන්තයෙකැ යි සිතන්නේ නම්, ඔහුගේ ආගමෙන් වැඩක් නැත. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිරිසිදු නිර්මල භක්තිය නම්, මව්පියන් නැති දරුවන්ට ද වැන්දඹුවන්ට ද ඔවුන්ගේ විපත්තිවල දී පිහිට වීමත්, ලෝකයෙන් තමා ම කිළුටු නොවී ආරක්ෂා වීමත් ය.
යාකොබ් 1:9-27 NIV (New International Version)
Believers in humble circumstances ought to take pride in their high position. But the rich should take pride in their humiliation—since they will pass away like a wild flower. For the sun rises with scorching heat and withers the plant; its blossom falls and its beauty is destroyed. In the same way, the rich will fade away even while they go about their business. Blessed is the one who perseveres under trial because, having stood the test, that person will receive the crown of life that the Lord has promised to those who love him. When tempted, no one should say, “God is tempting me.” For God cannot be tempted by evil, nor does he tempt anyone; but each person is tempted when they are dragged away by their own evil desire and enticed. Then, after desire has conceived, it gives birth to sin; and sin, when it is full-grown, gives birth to death. Don’t be deceived, my dear brothers and sisters. Every good and perfect gift is from above, coming down from the Father of the heavenly lights, who does not change like shifting shadows. He chose to give us birth through the word of truth, that we might be a kind of firstfruits of all he created. My dear brothers and sisters, take note of this: Everyone should be quick to listen, slow to speak and slow to become angry, because human anger does not produce the righteousness that God desires. Therefore, get rid of all moral filth and the evil that is so prevalent and humbly accept the word planted in you, which can save you. Do not merely listen to the word, and so deceive yourselves. Do what it says. Anyone who listens to the word but does not do what it says is like someone who looks at his face in a mirror and, after looking at himself, goes away and immediately forgets what he looks like. But whoever looks intently into the perfect law that gives freedom, and continues in it—not forgetting what they have heard, but doing it—they will be blessed in what they do. Those who consider themselves religious and yet do not keep a tight rein on their tongues deceive themselves, and their religion is worthless. Religion that God our Father accepts as pure and faultless is this: to look after orphans and widows in their distress and to keep oneself from being polluted by the world.