එසකියෙල් 20:1-32 - Compare All Versions
එසකියෙල් 20:1-32 SCV (සිංහල කාලීන පරිවර්තනය)
හත් වන අවුරුද්දේ පස් වන මාසයේ දහ වන දින ඉශ්රායෙල් ප්‍රජා මූලිකයින් ඇතැම් දෙනෙක් අවුත්, ස්වාමින්වහන්සේගෙන් විචාරන පිණිස මා ඉදිරිපිටින් හිඳ ගත්හ. එවිට, ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය: “මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් ප්‍රජා මූලිකයින්ට කතා කොට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක; නුඹලා ආවේ මගෙන් විචාරන්නට ද? මා ජීවත් වන වග සැබෑ සේ ම මගෙන් විචාරන්නට නුඹලාට මම ඉඩ නො දෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ කියන සේක.’ “ඔබ ඔවුන් විනිශ්චය කරනවා ද මනුෂ්‍ය පුත්‍රය? ඔබ ඔවුන් විනිශ්චය කරනවා ද? ඔවුන්ගේ පියවරුන්ගේ පිළිකුල්කම් ඔවුන්ට දන්වමින්, ඔවුන්ට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මම ඉශ්‍රායෙල් තෝරාගත් දවසේදී, යාකොබ් වංශයෙන් පැවත එන්නන්ට මගේ අත ඔසවා, දිවුරමින්, ඊජිප්තු දේශයේදී ඔවුන්ට එළිදරවු වුණෙමි. “නුඹලාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම යැ” යි එසෙවූ අතින් යුතු ව, ඔවුන්ට පැවසුවෙමි. කිරි හා පැණි ගලා යන දේශයකට, සියලු දේශවලින් ඉතාම ශෝබන වූ, මා විසින් ඔවුන් උදෙසා සොයා තෝරාගනු ලැබූ දේශයකට, ඊජිප්තු දේශයේ සිට මම ඔවුන් ගෙනෙනා වග ඒ දවසේ මම ඔවුන්ට දිවුළෙමි. තවද මම ඔවුන් අමතමින්, “ඔබ හැම කෙනකු ම ඔබ ඇස ගසා ගෙන සිටින නීච පිළිම රූප පහ කර දමන්න. ඊජිප්තුවේ දේව පිළිමවලින් අපවිත්‍ර නො වන්න. ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය” යි කීවෙමි. “ ‘එහෙත්, මට එරෙහිව කැරලි ගැසූ ඔවුහු මට සවන් දුන්නේ නැත. ඔවුන් තමන් ඇස ගසා සිටි නීච පිළිම රූප පහ කර දැමුවේවත්, ඊජිප්තු දේව පිළිම අත්හළේවත් නැත. එබැවින් ඊජිප්තුව තුළදී මගේ උදහස ඔවුන් පිට වගුරන වගත්, මගේ කෝපය ඔවුන්ට එරෙහිව එල්ල කරන වගත් මම පැවසීමි. එහෙත්, මගේ නාමයේ ගෞරවය උදෙසා මම ක්‍රියා කළෙමි. ඒ, ඔවුන් ජීවත් වූ කවර ජාතීන් අතරේ ද ඒ ජාතීන්ගේ ඇස් හමුවේ එය නො කෙලෙසන පිණිස ය. එනිසා ඔවුන් ඊජිප්තුවෙන් පිටතට ගෙන ඒමෙන් ඔවුන්ගේ ඇස් හමුවෙහි මම ම මා එළිදරවු කළෙමි. එබැවින්, මම ඊජිප්තු දේශයෙන් පිටතට ඔවුන් පමුණුවා, පාළුකරයට ඔවුන් ගෙන ආවෙමි. මම ඔවුන්ට මගේ නියෝග දුනිමි. මගේ නියමයන් ඔවුන්ට දැන්වීමි. ඒවා පිළිපදින්නා ඒවා පිළිපැදීමෙන් ජීවත් වෙයි. තවද මා සහ ඔවුන් අතරෙහි සලකුණක් වශයෙන් මම ඔවුන්ට මගේ සබත් ද දුනිමි. එසේ කළේ ඔවුන් විශුද්ධ කරන ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගන්නා පිණිස ය. “ ‘එසේ ද වුව, ඉශ්‍රායෙල් ජනතාව පාළුකරයේදී මට එරෙහිව කැරලි ගැසූහ. පිළිපදින්නා ඒවා පිළිපැදීමෙන් ම ජීවත් වන්නේ වුව ද, ඔවුන් මගේ නියෝග පිළිපැද්දේ නැත. මගේ නියමයන් ප්‍රතික්ෂේප කළහ. ඔවුහු මගේ සබත් මුළුමනින් දූෂ්‍ය කළහ. එබැවින්, මම මගේ උදහස ඔවුන් පිට වගුරුවා, පාළුකරය තුළ ඔවුන් වනසා දමන වග ඔවුන්ට කීමි. එහෙත්, මා ඔවුන් පිටතට ගෙන ආවේ කවර ජාතීන් හමුවේ ද, ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි මගේ නාමය නො කෙලෙසන පිණිස මගේ නාමයේ ගෞරවය රැකෙන පරිදි ක්‍රියා කළෙමි. තවද, මා ඔවුන්ට දී තිබූ දේශය වන කිරි හා පැණි ගලා යන දේශයට, සියලු දේශවලින් ඉතාම ශෝබන දේශයට, මා ඔවුන් ගෙන එන්නේ නැති වග පාළුකරයේදී මගේ අත් ඔසවා, මම ඔවුන්ට දිවුළෙමි. එසේ කළේ මගේ නියමයන් ඔවුන් ප්‍රතික්ෂේප කළ නිසාත්, මගේ නියෝග ඔවුන් නො පිළිපැද්ද නිසාත්, මගේ සබත් දූෂ්‍ය කළ නිසාත් ය. මන්ද ඔවුන්ගේ හදවත්, ඔවුන්ගේ දේව පිළිමවලට ඇලී තිබූ බැවිනි. එසේ වුව ද, ඔවුන් දෙස අනුකම්පාවෙන් බැලූ මම පාළුකරයේදී ඔවුන් විනාශ කර නො දැමීමි. ඔවුන් අවසන් කර නො දැමීමි. මම ඔවුන්ගේ දරුවන්ට පාළුකරයේදී කතා කරමින්, “ඔබගේ පියවරුන්ගේ නියෝග රක්ෂා කිරීම හෝ ඔවුන්ගේ නියමයන් පිළිපැදීම හෝ නො කරන්න. ඔවුන්ගේ දේව පිළිමවලින් අපවිත්‍ර නො වන්න. ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. මගේ නියෝග පිළිපැද මගේ නියමයන් රක්ෂා කිරීමට වග බලා ගන්න. මගේ සබත් ශුද්ධ ලෙස පවත්වන්න. ඒ දෑ අප අතරේ සලකුණක් වන්නේ ය. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා වග එවිට නුඹ දැනගනු ඇතැ!” යි කීවෙමි. “ ‘එහෙත් ඒ දරුවෝ ද මට එරෙහිව කැරලි ගැසුවෝ ය. ඔවුන් මගේ නියෝග පිළිපැද්දේ නැත. මගේ නියමයන් පිළිපැදීමෙන් ම ජීවනය අත්කර ගත හැක්කේ වුව ද, ඒවා රක්ෂා කරන්නට ඔවුන් වග බලා ගත්තේ නැත. ඔවුහු මගේ සබත් දූෂ්‍ය කළහ. එබැවින්, පාළුකරය තුළදී මගේ උදහස ඔවුන් පිට වගුරු වන වගත්, ඔවුන්ට එරෙහිව මගේ කෝපය ඔවුන් පිට හලන වගත් මම කීවෙමි. එහෙත්, මා විසින් ඔවුන් පිටතට ගෙන යන ලද්දේ කවර ජාතීන්ගේ ඇස් හමුවේ ද, එම ජාතීන්ගේ ඇස් හමුවේ මගේ නාමයේ ගෞරවය නො කෙලෙසන පිණිස, මගේ නාමය උදෙසා එසේ කිරීමෙන් මම වැළකුණෙමි. තවද, ජාතීන් අතරට මා ඔවුන් පන්නා දමන වගත්, රට රටවලට මා ඔවුන් විසුරුවා දමන වගත්, පාළුකරයේදී මගේ අත ඔසවා මම ඔවුන්ට දිවුළෙමි. එසේ කළේ, ඔවුන් මගේ නියමයන්වලට අවනත නො වී, මගේ නියෝග ප්‍රතික්ෂේප කළ නිසාත්, මගේ සබත් දූෂ්‍ය කළ නිසා හා ඔවුන්ගේ ඇස් ඔවුන්ගේ පියවරුන්ගේ දේව පිළිමවලට ගිජු වූ නිසාත් ය. තවද සෙත නො සැලසෙන නියෝග ද ජීවනය නො සැලසෙන නියමයන් ද මම ඔවුන් පිට තැබුවෙමි. මා ස්වාමින්වහන්සේ වග ඔවුන් දැනගන්නා පිණිස, භීතියෙන් ඔවුන් ඇලළී යනු වස්, හැම කුලුඳුලකු ම යාග කිරීමේ ඔවුන්ගේ පුද පඬුරුවලින් ඔවුන් දූෂ්‍ය වන්නට මම ඉඩ හළෙමි.’ “එබැවින් මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් ජනයා අමතා මෙසේ පවසන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක. මෙමඟින් ද නුඹලාගේ පියවරු මට ද්‍රෝහිකමක් කිරීමෙන් මට අපහාස කළහ. ඔවුනට දෙන වගට මා ඔවුන්ට දිවුරා තිබූ දේශයට මා ඔවුන් ගෙන ආ කල්හි, යම් උස් හෙලක් හෝ කොළ අතු ඇති ගසක් හෝ දුටු ඔවුහු එහිදී තමන්ගේ යාග ඔප්පු කරමින්, තම පුද පඬුරු පුදමින්, මගේ කෝපය ඇවිළවූවෝ, තම සුවඳ දුම් පූජා පුද දෙමින්, තම පාන පූජා වැගිරවූවෝ ය. එවිට මම ඔවුන් අමතමින්, නුඹලා යන මේ කඳු උඩ පුදසුන් මොනවාදැයි ඇසීමි.’ ” අද දවස දක්වාත් එතැන, කඳු උඩ පුදසුන් යන අරුතින් බාමා නමින් හැඳින් වේ. “එබැවින් ඉශ්‍රායෙල් වංශයට මෙසේ පවසන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: නුඹලාගේ පියවරුන් කළ පරිද්දෙන් ම නුඹලාත් තුමූම දූෂ්‍ය කර ගෙන, ඔවුන්ගේ නීච පිළිම රූපවලට තෘෂ්ණා වෙනවා ද? නුඹලාගේ පුද පඬුරු මගින්, එනම් නුඹලාගේ දරුවන් ගින්නෙහි යාග කිරීම් මගින් අද දවස දක්වාත් නුඹලාගේ සියලු දේව පිළිම සමඟින් නුඹලා දිගට ම දූෂ්‍ය වෙමින් සිටිති. එසේ නම් මගෙන් විචාරන්නට මම නුඹලාට ඉඩ හරින්නෙම් ද? එම්බා ඉශ්‍රායෙල් වංශය, මා ජීවත් වන වග සැබෑ සේ ම, මගෙන් විචාරන්නට මම නුඹලාට ඉඩ නො දෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ ‘නුඹලා කතා කරමින්, “අපට ඕනෑ අනෙක් ජාතීන් මෙන් වන්නට ය. දැව සහ ගල්වලට සේවය කරන ලොව සෙසු ජනයා මෙන් වන්නට යැ” යි කියති. එහෙත් නුඹලාගේ සිතේ ඇති දෑ කෙදිනකවත් ඉටු නො වන්නේ ය.
එසකියෙල් 20:1-32 SROV (Sinhala Revised Old Version)
තවද සත්වෙනි අවුරුද්දේ පස්වෙනි මාසයේ දසවෙනිදා ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ගෙන් සමහරෙක් ස්වාමීන්වහන්සේගෙන් විභාගකරන පිණිස ඇවිත් මා ඉදිරියෙහි හිඳගත්තෝය. එවිට ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ට කථාකොට ඔවුන්ට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–නුඹලා ආවේ මාගෙන් විභාගකරන්ටද? මා ජීවමාන බව සැබෑවා සේම නුඹලාගේ විභාග කිරීමට මම ඇහුම්කන් නොදෙන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඔවුන් විනිශ්චයකරනවාද? විනිශ්චයකරනවාද? ඔවුන්ගේ පියවරුන්ගේ පිළිකුල්කම් ඔවුන්ට දන්වමින්, ඔවුන්ට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–මම ඉශ්‍රායෙල් තෝරාගෙන, යාකොබ්ගේ වංශයට මාගේ අත ඔසවා, මිසර දේශයේදී මා ඔවුන්ට ප්‍රකාශවූ දවසේදී: මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය කියා මාගේ අත ඔවුන්ට එසෙවුවෙමි. ඒ දවසේදී, මා විසින් ඔවුන් උදෙසා තෝරාගන තිබුණාවූ, කිරිද මීපැණිද ගලායන්නාවූ, සියලු දේශවලට වඩා උතුම්වූ දේශයකට මිසර දේශයේ සිට ඔවුන් පමුණුවයි කියා මම ඔවුන්ට මාගේ අත ඔසවා– නුඹලා එකිනෙකා තම තමාගේ ඇස්වලට ප්‍රියවූ අශික්ෂිතකම් පහකරදමා, මිසරයේ දේවරූපවලින් අපවිත්‍ර නොවී සිටින්න; මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යයි ඔවුන්ට කීමි. නුමුත් ඔව්හු මට ඇහුම්කන්දෙන්ට කැමැති නොවී, මට විරුද්ධව කැරළිගැසුවෝය; ඔවුන් තම තමුන්ගේ ඇස්වලට ප්‍රියවූ අශික්ෂිතකම් පහකර දැමුවේවත් මිසරයේ දේවරූප අත්හැරියේවත් නැත. එවිට මම මිසර දේශයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවා, මාගේ උදහස ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන්ට සිතුවෙමි. නුමුත් ඔවුන් වට කර සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලහෙන පිණිස එය උදෙසා ක්‍රියාකෙළෙමි. මක්නිසාද ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන්ට ඒ ජාතීන් ඉදිරියෙහි ඔවුන්ට ප්‍රකාශවුණෙමි. එබැවින් මම ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනැවිත් කාන්තාරයට පැමිණෙවුවෙමි. මාගේ පනත් ඔවුන්ට දී, මාගේ විනිශ්චයන් ඔවුන්ට දැන්වීමි; මනුෂ්‍යයෙක් ඒවා පවත්වන්නේ නම් ඔහු එයින් ජීවත්වන්නේය. තවද මම ඔවුන් විශුද්ධකරන ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්න පිණිස, මා සහ ඔවුන් අතරේ සලකුණක්ව තිබෙන්ට මාගේ සබත් ඔවුන්ට දුනිමි. නුමුත් ඉශ්‍රායෙල් වංශය කාන්තාරයේදී මට විරුද්ධව කැරළිගසා, මාගේ පනත් ප්‍රකාර නොහැසිර, මාගේ විනිශ්චයන් එපාකළෝය; මනුෂ්‍යයෙක් ඒවා පවත්වන්නේ නම් ඔහු එයින් ජීවත්වන්නේය; ඔව්හු මාගේ සබත් බොහෝසෙයින් කෙලසුවෝය. එවිට ඔවුන් නැතිකරදැමීමට කාන්තාරයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවන්ට සිතුවෙමි. නුමුත් ජාතීන් ඉදිරියෙහි මා විසින් පිටතට ගෙනා බැවින්, ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසෙන පිණිස එය උදෙසා ක්‍රියාකෙළෙමි. තවද මා දුන්නාවූ, කිරිද මීපැණිද ගලායන්නාවූ, සියලු දේශවලට වඩා උතුම්වූ දේශයට ඔවුන් නොපමුණුවමියි කියා කාන්තාරයේදී ඔවුන්ට මාගේ අත එසෙවුවෙමි. මෙසේ කළේ ඔවුන් මාගේ විනිශ්චයන් එපාකොට, මාගේ පනත් ප්‍රකාර නොහැසිර, මාගේ සබත් කෙලෙසූ නිසාය. මක්නිසාද ඔවුන්ගේ සිත් ඔවුන්ගේ දේවරූප පස්සේ ගියෝය. එසේවී නුමුත් ඔවුන් විනාශකර කාන්තාරයේදී ඔවුන් තීන්දුවටම නැතිකර නොදමන ලෙස මාගේ ඇස ඔවුන්ට දයාවුණේය. මම කාන්තාරයේදී ඔවුන්ගේ දරුවන්ට කථාකොට: නුඹලාගේ පියවරුන්ගේ පනත් ප්‍රකාර නොහැසිර, ඔවුන්ගේ විනිශ්චයන් නොපවත්වා, ඔවුන්ගේ දේවරූපවලින් අපවිත්‍ර නොවී සිටින්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය; මාගේ පනත් ප්‍රකාර හැසිර, මාගේ විනිශ්චයන් පවත්වා, ඒවා කරන්න. මාගේ සබත් ශුද්ධ ලෙස පවත්වන්න; එවිට මා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස ඒවා මා සහ නුඹලා අතරේ සලකුණක් වන්නේයයි කීමි. නුමුත් දරුවෝ මට විරුද්ධව කැරළිගසා, මාගේ පනත් ප්‍රකාර නොහැසිර, මනුෂ්‍යයෙක් ජීවත්වෙන පිණිස ඔහු විසින් පවත්වන්ට ඕනෑවූ මාගේ විනිශ්චයන් ඉෂ්ටකරන ලෙස ඒවා නොපවත්වා, මාගේ සබත් කෙලෙසුවෝය. එවිට මම කාන්තාරයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවා මාගේ උදහස ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන්ට සිතුවෙමි. නුමුත් මම මාගේ අත නවත්වාගෙන, ජාතීන් ඉදිරියෙහි මා විසින් ඔවුන් පිටතට ගෙනා බැවින් ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසෙන පිණිස, එය උදෙසා ක්‍රියාකෙළෙමි. තවද: මම ඔවුන් ජාතීන් අතරට පන්නා දේශවල විසුරුවමියි කියා කාන්තාරයේදී ඔවුන්ට මාගේ අත එසෙවුවෙමි; මක්නිසාද ඔව්හු මාගේ විනිශ්චයන් ඉෂ්ට නොකර, මාගේ පනත් එපාකොට, මාගේ සබත් කෙලෙසුවෝය, ඔවුන්ගේ ඇස්ද තමුන්ගේ පියවරුන්ගේ දේවරූප දෙස තිබුණේය. එබැවින් මමත් යහපත් නුවූ පනත්ද ජීවනය දීමට සුදුසු නොවන විනිශ්චයන්ද ඔවුන්ට දුනිමි. තවද මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නා පිණිස, මම ඔවුන් අසරණ භාවයට පමුණුවන්ට, ගර්භයේ ප්‍රථම ඵලවූ සියලු කුලුඳුලන් ගිනි මැදින් යැවීමෙන් ඔවුන් දුන් ඔවුන්ගේම පඬුරුවලදී ඔවුන් අපවිත්‍ර බව ප්‍රකාශකෙළෙමි. එබැවින්, මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශයට කථාකොට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–නුඹලාගේ පියවරු මට විරුද්ධව ද්‍රෝහිකමක් කිරීමෙන් මෙසේ මට තවත් අපහාසකළෝය. ඔවුන්ට දෙන ලෙස මා විසින් මාගේ අත ඔසවා දිවුරුම් දුන් දේශයට මා විසින් ඔවුන් පැමිණෙවු කල, ඔව්හු සියලු උස් හෙල්ද අතු ඝනව තිබෙන සියලු ගස්ද දැක එහි තමුන්ගේ පූජා ඔප්පුකළෝය, උදහස් කරවන තමුන්ගේ පඬුරු එහි පිදුවෝය, එහි ඔව්හු තමුන්ගේ සුගන්ධ ද්‍රව්‍ය සාදා, එහිම තමුන්ගේ පානපූජා වැගිරෙවුවෝය. මමද කථාකොට: නුඹලා යන උස්තැන කිමෙක්දැයි ඔවුන්ට කීමි. ඊට බාමා යන නම අද දවස දක්වා කියති. එබැවින් ඉශ්‍රායෙල් වංශයට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–නුඹලාගේ පියවරුන් කළාක්මෙන් නුඹලා තමුන්ම අපවිත්‍රකරගන්නහුද? ඔවුන්ගේ අශික්ෂිතකම් අනුව යමින් වේශ්‍යාකම්කරන්නහුද? නුඹලාගේ පුත්‍රයන් ගිනි මැදින් යැවීමෙන් නුඹලාගේ පඬුරු ඔප්පුකරන කල, නුඹලා අද දක්වා නුඹලාගේ සියලු දේවරූප කරණකොටගෙන කිලුටුවන්නහුද? එබැවින් ඉශ්‍රායෙල් වංශය, මම නුඹලා විසින් විභාගකරනු ලබම්ද? මා ජීවමාන බව සැබෑවා සේම මම නුඹලා විසින් විභාගකරනු නොලබන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. නුඹලාගේ සිත්වල හටගන්න දේ එනම්: අපි ජාතීන් වන දේශවල වංශ මෙන් ලීවලටත් ගල්වලටත් සේවය කරන්නෙමුයයි නුඹලා කියන එක සිද්ධ වෙන්නේම නැත.
එසකියෙල් 20:1-32 NRSV (Sinhala New Revised Version)
සත් වන අවුරුද්දේ පස් වන මාසයේ දස වන දින ඉශ්රායෙල් ප්‍රජා මූලිකයන්ගෙන් සමහරෙක් සමිඳාණන් වහන්සේගේ කැමැත්ත ගැන විමසන පිණිස අවුත් මා ඉදිරියෙහි හිඳගත්තෝ ය. එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්රායෙල් ප්‍රජා මූලිකයන්ට කතා කොට ඔවුන්ට මෙසේ කියන්න: ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. නුඹලා පැමිණියේ, මාගේ කැමැත්ත ගැන මාගෙන් විමසන්න ද? මම මාගේ ජීවමාන නාමයෙන් දිවුරා කියමි: මාගෙන් කිසිවක් ප්‍රශ්න කරන්න නුඹලාට ඉඩ නොදෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඔවුන් විනිශ්චය කරන්න සූදානම් ද? ඔවුන්ගේ පියවරුන්ගේ පිළිකුල් ක්‍රියා ඔවුන්ට දන්වමින්, ඔවුන්ට මෙසේ කියන්න: ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මා ඉශ්රායෙල් තෝරාගත් විට, ජාකොබ්ගේ වංශයට මම පොරොන්දුවක් වීමි. මිසර දේශයේ දී මා ඔවුන්ට ප්‍රකාශ වූ දවසේ දී, මම මෙසේ වදාළෙමි: මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ යැයි මිසර දේශයේ දී ඔවුන්ට දිවුරා කීවෙමි. මා ඔවුන් උදෙසා තෝරාගත්, කිරෙන් ද මී පැණියෙන් ද ඉතිරෙන, අන් සියලු දේශවලට වඩා උතුම් දේශයකට මිසර දේශයේ සිට ඔවුන් පමුණුවන්නෙමි කියා ඒ දවසෙහි මම ඔවුන්ට පොරොන්දු වුණෙමි. “නුඹලා එකිනෙකා තම තමාගේ ඇස්වලට ප්‍රිය වූ අවකල්ක්‍රියාව පහකරදමා, මිසරයේ දේව රූපවලින් අපවිත්‍ර නොවී සිටින්න; මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ ය’යි ඔවුන්ට වදාළෙමි. එහෙත් ඔව්හු මට සවන් දෙන්න කැමැති නොවී මට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. ඔවුන් තම තමන්ගේ ඇස්වලට ප්‍රිය වූ අවකල්ක්‍රියා පහකරදැමුවේ වත්, මිසරයේ දේව රූප අත්හැරියේ වත් නැත. ඒ නිසා මම මිසර දේශයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවා මාගේ උදහස ඔවුන් කෙරෙහි පමුණුවන්නට සිතුවෙමි. එහෙත් ඔවුන් වටකර සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසන පිණිස මම ක්‍රියා කෙළෙමි. මක්නිසා ද, ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන බවට ඒ ජාතීන් ඉදිරියෙහි ඔවුන්ට මා ප්‍රකාශනයක් කළ බැවිනි. “ ‘එබැවින්, මම ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනවුත් පාළුකරයට පැමිණෙවුවෙමි. මාගේ ආඥා ඔවුන්ට දී මාගේ පණත් ඔවුන්ට දැන්වීමි. එසේ කෙළේ, ඒවා අනුගමනය කිරීමෙන් මිනිසුන්ට ජීවනය ලැබෙන පිණිස ය. තවද, මම ඔවුන් විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගන්න පිණිස, මා සහ ඔවුන් අතරේ සලකුණක් ව තිබෙන්න මාගේ සබත් දවස පැවැත්වීමට සැලැස්වීමි. එහෙත්, ඉශ්රායෙල් වංශය කාන්තාරයේ දී මට විරුද්ධ ව කැරලිගසා, මාගේ ආඥා අනුව නොහැසිර, මාගේ පණත් ප්‍රතික්ෂේප කළෝ ය. ඒවා ප්‍රතික්ෂේප නොකර, ඒවා පිළිපැදීමෙන් මිනිසුන්ට ජීවනය ලැබෙනු ඇත. ඔව්හු මාගේ සබත් දවස් ද බොහෝ සෙයින් කෙලෙසුවෝ ය. එවිට ඔවුන් නැති කර දැමීමට කාන්තාරයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවන්නට සිතුවෙමි. එහෙත්, ජාතීන්ට පෙනෙන ලෙස මා ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා බැවින්, ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසන පිණිස මම ක්‍රියා කෙළෙමි. තවද, මා ඔවුන්ට දුන් කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන සියලු දේශවලට වඩා උතුම් දේශයට ඔවුන් නොපමුණුවමි යි කාන්තාරයේ දී ඔවුන්ට විරුද්ධ ව අත ඔසවමි යි දිවුරා කීවෙමි. මෙසේ කෙළේ, ඔවුන් මාගේ පණත් එපා කොට, මාගේ ආඥා ප්‍රකාර නොහැසිර, මාගේ සබත් කෙලෙසූ නිසා ය. මක්නිසා ද, ඔවුන්ගේ සිත් ඔවුන්ගේ දේව රූප දෙසට ඇදී ගියේ ය. “ ‘එසේ වූ නමුත්, ඔවුන් විනාශ කර කාන්තාරයේ දී ඔවුන් තීන්දුවට ම නැති කර නොදමන ලෙස මම දයාවෙන් ඔවුන් දෙස බැලුවෙමි. මම කාන්තාරයේ දී ඔවුන්ගේ දරුවන්ට කතා කොට: ‘නුඹලාගේ පියවරුන්ගේ පණත් ප්‍රකාර නොහැසිර, ඔවුන්ගේ නියෝගයන් නොපවත්වා, ඔවුන්ගේ දේව රූපවලින් අපවිත්‍ර නොවී සිටින්න. මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ ය; මාගේ ආඥා ප්‍රකාර හැසිර, මාගේ පණත් අනුගමනය කර ඒවා පිළිපදින්න; මාගේ සබත් දින ශුද්ධ ලෙස පවත්වන්න; එවිට මා නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස ඒවා මා සහ නුඹලා අතරේ සලකුණක් වන්නේ ය’යි වදාළෙමි. “ ‘එහෙත් ඒ පරම්පරාව මට විරුද්ධ ව කැරලි ගසා, මාගේ ආඥා අනුගමනය නොකර, මිනිසුන්ට ජීවනය ගෙන දෙන ආඥාවන් අනුව නොහැසිර මාගේ සබත් දින කෙලෙසුවෝ ය. එවිට මම පාළුකරයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවා මාගේ උදහස ඔවුන් කෙරෙහි පමුණුවන්නට සිතුවෙමි. එහෙත්, මා එසේ කිරීමෙන් වැළකී, ජාතීන්ට පෙනෙන ලෙස මා ඔවුන්, මිසර දේශයෙන් පිටතට ගෙනා බැවින් ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසන පිණිස මම එය ක්‍රියාත්මක නොකෙළෙමි. තවද, මම ඔවුන් ජාතීන් අතරට පන්නා දේශවල විසුරුවමි යි කියා පාළුකරයේ දී මාගේ අත ඔසවා දිවුරා ඔවුන්ට කීවෙමි. මා එසේ කෙළේ ඔවුන් මාගේ පණත් නොපිළිපැද, මාගේ ආඥා ප්‍රතික්ෂේප කොට, මාගේ සබත් දවස කෙලෙසූ නිසාත්, ඔවුන්ගේ ඇස් ද තමන්ගේ පියවරුන්ගේ දේව රූප දෙස යොමු වී තිබුණ නිසාත් ය. “ ‘එබැවින් මමත් යහපත් නුවූ ආඥා ද ජීවනය දීමට හැකි නොවන පණත් ද ඔවුන්ට දිනිමි. තවද දේවරූපවලට පුදන ලද ඔවුන්ගේ ම පඬුරුවලින් ඔවුන් දූෂණය වන්නට මම ඉඩ හැරියෙමි. ඔවුන් භීතියෙන් තැති ගන්වන පිණිස ඔවුන්ගේ කුලුඳුල් පුත්‍රයන් ගිනි පූජා කරන්න ඉඩ හැරියෙමි. එසේ කෙළේ, මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගන්න පිණිස ය. “ ‘එබැවින් මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශයට කතා කොට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලාගේ පියවරු මට විරුද්ධ ව ද්‍රෝහිකමක් කිරීමෙන් මෙසේ මට තවත් අපහාස කළෝ ය. ඔවුන්ට දෙන ලෙස මා අත ඔසවා දිවුරුම් දුන් දේශයට මා ඔවුන් පැමිණෙවූ කල, ඔවුන් දුටු සියලු උස් හෙල් ද අතු පතර ඇති සියලු ගස් ද ඉදිරියෙහි ඔව්හු තමන්ගේ පූජා ඔප්පු කළහ; එසේ පඬුරු පිදීමෙන් ඔව්හු මා උදහසට පත් කළහ. එහි ඔව්හු තමන්ගේ සුගන්ධ ද්‍රව්‍ය පතුරුවා එහි ම තමන්ගේ පාන පූජා වැගිරෙවුවෝ ය. මම ඔවුන්ගෙන් මෙසේ ඇසුවෙමි: නුඹලා යන ගිරිකුළු දේවාල මොනවා ද? ඊට උස් වූ ස්ථානය යන අරුත ඇති ‘බාමා’ යන නම අද දවස දක්වා කියති. එබැවින් ඉශ්රායෙල් සෙනඟට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලාගේ පියවරුන් කළාක් මෙන් දෙවි දේවතා වැඳීමෙන් හා වේශ්‍යාකම් කිරීමෙන් නුඹලා තමන් ම අපවිත්‍ර කරගන්නහු ද? නුඹලාගේ පුත්‍රයන් ගින්නෙහි පූජා කරමින් නුඹලාගේ පඬුරු ඔප්පු කරන කල, නුඹලා අද දක්වා නුඹලාගේ සියලු දේව රූප කරණකොටගෙන කිළුටු වන්නහු ද? කරුණු මෙසේ ව තිබිය දී ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා තවමත් මාගේ කැමැත්ත විමසන පිණිස පැමිණෙන්නහු ය. මාගේ ජීවමාන නාමයෙන් දිවුරා නුඹලාට මාගෙන් විමසන්න ඉඩ නොදෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. ‘අපි විජාතීන් මෙන් ද රටවල ගෝත්‍ර මෙන් ද ලීවලටත්, ගල්වලටත් නමස්කාර කරමු’යි නුඹලාගේ සිත්හි ඇති අදහස කිසි කලක ඉටු වන්නේ ම නැත.” ‘
එසකියෙල් 20:1-32 SNRV (Sinhala New Revised Version 2018)
සත් වන අවුරුද්දේ පස් වන මාසයේ දස වන දින ඉශ්රායෙල් ප්‍රජා මූලිකයන්ගෙන් සමහරෙක් සමිඳාණන් වහන්සේගේ කැමැත්ත ගැන විමසන පිණිස අවුත් මා ඉදිරියෙහි හිඳගත්තෝ ය. එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්රායෙල් ප්‍රජා මූලිකයන්ට කතා කොට ඔවුන්ට මෙසේ කියන්න: ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. නුඹලා පැමිණියේ, මාගේ කැමැත්ත ගැන මාගෙන් විමසන්න ද? මම මාගේ ජීවමාන නාමයෙන් දිවුරා කියමි: මාගෙන් කිසිවක් ප්‍රශ්න කරන්න නුඹලාට ඉඩ නොදෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඔවුන් විනිශ්චය කරන්න සූදානම් ද? ඔවුන්ගේ පියවරුන්ගේ පිළිකුල් ක්‍රියා ඔවුන්ට දන්වමින්, ඔවුන්ට මෙසේ කියන්න: ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මා ඉශ්රායෙල් තෝරාගත් විට, ජාකොබ්ගේ වංශයට මම පොරොන්දුවක් වීමි. මිසර දේශයේ දී මා ඔවුන්ට ප්‍රකාශ වූ දවසේ දී, මම මෙසේ වදාළෙමි: මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ යැයි මිසර දේශයේ දී ඔවුන්ට දිවුරා කීවෙමි. මා ඔවුන් උදෙසා තෝරාගත්, කිරෙන් ද මී පැණියෙන් ද ඉතිරෙන, අන් සියලු දේශවලට වඩා උතුම් දේශයකට මිසර දේශයේ සිට ඔවුන් පමුණුවන්නෙමි කියා ඒ දවසෙහි මම ඔවුන්ට පොරොන්දු වුණෙමි. “නුඹලා එකිනෙකා තම තමාගේ ඇස්වලට ප්‍රිය වූ අවකල්ක්‍රියාව පහකරදමා, මිසරයේ දේව රූපවලින් අපවිත්‍ර නොවී සිටින්න; මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ ය’යි ඔවුන්ට වදාළෙමි. එහෙත් ඔව්හු මට සවන් දෙන්න කැමැති නොවී මට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. ඔවුන් තම තමන්ගේ ඇස්වලට ප්‍රිය වූ අවකල්ක්‍රියා පහකරදැමුවේ වත්, මිසරයේ දේව රූප අත්හැරියේ වත් නැත. ඒ නිසා මම මිසර දේශයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවා මාගේ උදහස ඔවුන් කෙරෙහි පමුණුවන්නට සිතුවෙමි. එහෙත් ඔවුන් වටකර සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසන පිණිස මම ක්‍රියා කෙළෙමි. මක්නිසා ද, ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන බවට ඒ ජාතීන් ඉදිරියෙහි ඔවුන්ට මා ප්‍රකාශනයක් කළ බැවිනි. “ ‘එබැවින්, මම ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනවුත් පාළුකරයට පැමිණෙවුවෙමි. මාගේ ආඥා ඔවුන්ට දී මාගේ පනත් ඔවුන්ට දැන්වීමි. එසේ කෙළේ, ඒවා අනුගමනය කිරීමෙන් මිනිසුන්ට ජීවනය ලැබෙන පිණිස ය. තවද, මම ඔවුන් විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගන්න පිණිස, මා සහ ඔවුන් අතරේ සලකුණක් ව තිබෙන්න මාගේ සබත් දවස පැවැත්වීමට සැලැස්වීමි. එහෙත්, ඉශ්රායෙල් වංශය කාන්තාරයේ දී මට විරුද්ධ ව කැරලිගසා, මාගේ ආඥා අනුව නොහැසිර, මාගේ පනත් ප්‍රතික්ෂේප කළෝ ය. ඒවා ප්‍රතික්ෂේප නොකර, ඒවා පිළිපැදීමෙන් මිනිසුන්ට ජීවනය ලැබෙනු ඇත. ඔව්හු මාගේ සබත් දවස් ද බොහෝ සෙයින් කෙලෙසුවෝ ය. එවිට ඔවුන් නැති කර දැමීමට කාන්තාරයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවන්නට සිතුවෙමි. එහෙත්, ජාතීන්ට පෙනෙන ලෙස මා ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා බැවින්, ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසන පිණිස මම ක්‍රියා කෙළෙමි. තවද, මා ඔවුන්ට දුන් කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන සියලු දේශවලට වඩා උතුම් දේශයට ඔවුන් නොපමුණුවමි යි කාන්තාරයේ දී ඔවුන්ට විරුද්ධ ව අත ඔසවමි යි දිවුරා කීවෙමි. මෙසේ කෙළේ, ඔවුන් මාගේ පනත් එපා කොට, මාගේ ආඥා ප්‍රකාර නොහැසිර, මාගේ සබත් කෙලෙසූ නිසා ය. මක්නිසා ද, ඔවුන්ගේ සිත් ඔවුන්ගේ දේව රූප දෙසට ඇදී ගියේ ය. “ ‘එසේ වූ නමුත්, ඔවුන් විනාශ කර කාන්තාරයේ දී ඔවුන් තීන්දුවට ම නැති කර නොදමන ලෙස මම දයාවෙන් ඔවුන් දෙස බැලුවෙමි. මම කාන්තාරයේ දී ඔවුන්ගේ දරුවන්ට කතා කොට: ‘නුඹලාගේ පියවරුන්ගේ පනත් ප්‍රකාර නොහැසිර, ඔවුන්ගේ නියෝගයන් නොපවත්වා, ඔවුන්ගේ දේව රූපවලින් අපවිත්‍ර නොවී සිටින්න. මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ ය; මාගේ ආඥා ප්‍රකාර හැසිර, මාගේ පනත් අනුගමනය කර ඒවා පිළිපදින්න; මාගේ සබත් දින ශුද්ධ ලෙස පවත්වන්න; එවිට මා නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස ඒවා මා සහ නුඹලා අතරේ සලකුණක් වන්නේ ය’යි වදාළෙමි. “ ‘එහෙත් ඒ පරම්පරාව මට විරුද්ධ ව කැරලි ගසා, මාගේ ආඥා අනුගමනය නොකර, මිනිසුන්ට ජීවනය ගෙන දෙන ආඥාවන් අනුව නොහැසිර මාගේ සබත් දින කෙලෙසුවෝ ය. එවිට මම පාළුකරයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවා මාගේ උදහස ඔවුන් කෙරෙහි පමුණුවන්නට සිතුවෙමි. එහෙත්, මා එසේ කිරීමෙන් වැළකී, ජාතීන්ට පෙනෙන ලෙස මා ඔවුන්, මිසර දේශයෙන් පිටතට ගෙනා බැවින් ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසන පිණිස මම එය ක්‍රියාත්මක නොකෙළෙමි. තවද, මම ඔවුන් ජාතීන් අතරට පන්නා දේශවල විසුරුවමි යි කියා පාළුකරයේ දී මාගේ අත ඔසවා දිවුරා ඔවුන්ට කීවෙමි. මා එසේ කෙළේ ඔවුන් මාගේ පනත් නොපිළිපැද, මාගේ ආඥා ප්‍රතික්ෂේප කොට, මාගේ සබත් දවස කෙලෙසූ නිසාත්, ඔවුන්ගේ ඇස් ද තමන්ගේ පියවරුන්ගේ දේව රූප දෙස යොමු වී තිබුණ නිසාත් ය. “ ‘එබැවින් මමත් යහපත් නුවූ ආඥා ද ජීවනය දීමට හැකි නොවන පනත් ද ඔවුන්ට දිනිමි. තවද දේවරූපවලට පුදන ලද ඔවුන්ගේ ම පඬුරුවලින් ඔවුන් දූෂණය වන්නට මම ඉඩ හැරියෙමි. ඔවුන් භීතියෙන් තැති ගන්වන පිණිස ඔවුන්ගේ කුලුඳුල් පුත්‍රයන් ගිනි පූජා කරන්න ඉඩ හැරියෙමි. එසේ කෙළේ, මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගන්න පිණිස ය. “ ‘එබැවින් මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශයට කතා කොට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලාගේ පියවරු මට විරුද්ධ ව ද්‍රෝහිකමක් කිරීමෙන් මෙසේ මට තවත් අපහාස කළෝ ය. ඔවුන්ට දෙන ලෙස මා අත ඔසවා දිවුරුම් දුන් දේශයට මා ඔවුන් පැමිණෙවූ කල, ඔවුන් දුටු සියලු උස් හෙල් ද අතු පතර ඇති සියලු ගස් ද ඉදිරියෙහි ඔව්හු තමන්ගේ පූජා ඔප්පු කළහ; එසේ පඬුරු පිදීමෙන් ඔව්හු මා උදහසට පත් කළහ. එහි ඔව්හු තමන්ගේ සුගන්ධ ද්‍රව්‍ය පතුරුවා එහි ම තමන්ගේ පාන පූජා වැගිරෙවුවෝ ය. මම ඔවුන්ගෙන් මෙසේ ඇසුවෙමි: නුඹලා යන ගිරිකුළු දේවාල මොනවා ද? ඊට උස් වූ ස්ථානය යන අරුත ඇති ‘බාමා’ යන නම අද දවස දක්වා කියති. එබැවින් ඉශ්රායෙල් සෙනඟට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලාගේ පියවරුන් කළාක් මෙන් දෙවි දේවතා වැඳීමෙන් හා වේශ්‍යාකම් කිරීමෙන් නුඹලා තමන් ම අපවිත්‍ර කරගන්නහු ද? නුඹලාගේ පුත්‍රයන් ගින්නෙහි පූජා කරමින් නුඹලාගේ පඬුරු ඔප්පු කරන කල, නුඹලා අද දක්වා නුඹලාගේ සියලු දේව රූප කරණකොටගෙන කිළුටු වන්නහු ද? කරුණු මෙසේ ව තිබිය දී ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා තවමත් මාගේ කැමැත්ත විමසන පිණිස පැමිණෙන්නහු ය. මාගේ ජීවමාන නාමයෙන් දිවුරා නුඹලාට මාගෙන් විමසන්න ඉඩ නොදෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. ‘අපි විජාතීන් මෙන් ද රටවල ගෝත්‍ර මෙන් ද ලීවලටත්, ගල්වලටත් නමස්කාර කරමු’යි නුඹලාගේ සිත්හි ඇති අදහස කිසි කලක ඉටු වන්නේ ම නැත.” ‘
එසකියෙල් 20:1-32 NIV (New International Version)
In the seventh year, in the fifth month on the tenth day, some of the elders of Israel came to inquire of the LORD, and they sat down in front of me. Then the word of the LORD came to me: “Son of man, speak to the elders of Israel and say to them, ‘This is what the Sovereign LORD says: Have you come to inquire of me? As surely as I live, I will not let you inquire of me, declares the Sovereign LORD.’ “Will you judge them? Will you judge them, son of man? Then confront them with the detestable practices of their ancestors and say to them: ‘This is what the Sovereign LORD says: On the day I chose Israel, I swore with uplifted hand to the descendants of Jacob and revealed myself to them in Egypt. With uplifted hand I said to them, “I am the LORD your God.” On that day I swore to them that I would bring them out of Egypt into a land I had searched out for them, a land flowing with milk and honey, the most beautiful of all lands. And I said to them, “Each of you, get rid of the vile images you have set your eyes on, and do not defile yourselves with the idols of Egypt. I am the LORD your God.” “ ‘But they rebelled against me and would not listen to me; they did not get rid of the vile images they had set their eyes on, nor did they forsake the idols of Egypt. So I said I would pour out my wrath on them and spend my anger against them in Egypt. But for the sake of my name, I brought them out of Egypt. I did it to keep my name from being profaned in the eyes of the nations among whom they lived and in whose sight I had revealed myself to the Israelites. Therefore I led them out of Egypt and brought them into the wilderness. I gave them my decrees and made known to them my laws, by which the person who obeys them will live. Also I gave them my Sabbaths as a sign between us, so they would know that I the LORD made them holy. “ ‘Yet the people of Israel rebelled against me in the wilderness. They did not follow my decrees but rejected my laws—by which the person who obeys them will live—and they utterly desecrated my Sabbaths. So I said I would pour out my wrath on them and destroy them in the wilderness. But for the sake of my name I did what would keep it from being profaned in the eyes of the nations in whose sight I had brought them out. Also with uplifted hand I swore to them in the wilderness that I would not bring them into the land I had given them—a land flowing with milk and honey, the most beautiful of all lands— because they rejected my laws and did not follow my decrees and desecrated my Sabbaths. For their hearts were devoted to their idols. Yet I looked on them with pity and did not destroy them or put an end to them in the wilderness. I said to their children in the wilderness, “Do not follow the statutes of your parents or keep their laws or defile yourselves with their idols. I am the LORD your God; follow my decrees and be careful to keep my laws. Keep my Sabbaths holy, that they may be a sign between us. Then you will know that I am the LORD your God.” “ ‘But the children rebelled against me: They did not follow my decrees, they were not careful to keep my laws, of which I said, “The person who obeys them will live by them,” and they desecrated my Sabbaths. So I said I would pour out my wrath on them and spend my anger against them in the wilderness. But I withheld my hand, and for the sake of my name I did what would keep it from being profaned in the eyes of the nations in whose sight I had brought them out. Also with uplifted hand I swore to them in the wilderness that I would disperse them among the nations and scatter them through the countries, because they had not obeyed my laws but had rejected my decrees and desecrated my Sabbaths, and their eyes lusted after their parents’ idols. So I gave them other statutes that were not good and laws through which they could not live; I defiled them through their gifts—the sacrifice of every firstborn—that I might fill them with horror so they would know that I am the LORD.’ “Therefore, son of man, speak to the people of Israel and say to them, ‘This is what the Sovereign LORD says: In this also your ancestors blasphemed me by being unfaithful to me: When I brought them into the land I had sworn to give them and they saw any high hill or any leafy tree, there they offered their sacrifices, made offerings that aroused my anger, presented their fragrant incense and poured out their drink offerings. Then I said to them: What is this high place you go to?’ ” (It is called Bamah to this day.) “Therefore say to the Israelites: ‘This is what the Sovereign LORD says: Will you defile yourselves the way your ancestors did and lust after their vile images? When you offer your gifts—the sacrifice of your children in the fire—you continue to defile yourselves with all your idols to this day. Am I to let you inquire of me, you Israelites? As surely as I live, declares the Sovereign LORD, I will not let you inquire of me. “ ‘You say, “We want to be like the nations, like the peoples of the world, who serve wood and stone.” But what you have in mind will never happen.