එස්තර් 5:6-11

එස්තර් 5:6-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඔවුන් මිදි යුෂ පානය කරමින් සිටියදී, යළි එස්තර් ඇමතූ රජු, “හොඳයි, මොකක් ද ඔබේ අයැදුම? එය ඔබට ප්‍රදාන කරනු ලැබේ; මොකක් ද ඔබේ ඉල්ලීම? මගේ රාජ්‍යයෙන් හරි අඩක් වුවත් එය ඉටු කරනු ලැබේ” යි පැවසී ය. එස්තර් පිළිතුරු දෙමින්, “මගේ අයැදීමත්, මගේ ඉල්ලීමත් මෙයයි: රජතුමා ඉදිරියේ මට ප්‍රසාදය ලැබේ නම්, මගේ අයැදුම ප්‍රදානය කර, මගේ ඉල්ලීම ඉටු කිරීමට රජතුමන් ප්‍රසන්න නම්, හෙට රජතුමා හා හාමාන් වෙනුවෙන් මා පිළියෙල කරන භෝජන සංග්‍රහයට ඔබ දෙපොළ අව මැනවි; එවිට රජතුමා කී පරිදි මම කරන්නෙමි” යි ඈ කීවා ය. හාමාන් එදින පිටත් ව ගියේ ප්‍රීතියෙනි; හදේ ප්‍රමෝදයෙනි. එහෙත් රජ වාසලදී මොර්දෙකයි ඔහු ඉදිරියෙහි නැගී සිටියේවත්, තැති ගත්තේවත් නැති වග දුටු කල, මොර්දෙකයිට එරෙහිව ඔහු ක්‍රෝධයෙන් පිරුණේ ය. එහෙත් තම කෝපය මැඩගත් හාමාන්, තම නිවසට ගියේ ය. තම මිතුරන් ද තම බිරිඳ වූ සෙරෙෂ් ද කැඳවූ හාමාන්, තමාගේ ධන සම්භාරයේ විභූතිය ගැනත්, බොහෝ වූ තම පුතුන් ගැනත්, ඔහුට ගෞරව වශයෙන් රජු කර තිබූ කටයුතු සියල්ල ගැනත්, සෙසු අධිපතීන්ට හා නිලධාරීන්ට වඩා උසස් තත්වයක් රජු ඔහුට දීම ගැනත් ඔවුන් ඉදිරියෙහි පුරසාරම් දෙඩී ය.

එස්තර් 5:6-11 Sinhala Revised Old Version (SROV)

රජතෙමේ මුද්‍රිකපාන මංගල්‍යයේදී එස්තර්ට කථාකොට: නුඹේ ඉල්ලීම මොකද? ඒක නුඹට දෙනු ලැබෙන්නේය, නුඹේ අයදුම මොකද? රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුණත් ඒක ඉෂ්ටකරනු ලැබේයයි කීවේය. එවිට එස්තර් උත්තරදෙමින්: රජ්ජුරුවන්ගෙන් මට කරුණාව ලැබී තිබේ නම්, එසේම මා ඉල්ලන දේ දෙන්ටත් මාගේ අයදුම ඉෂ්ටකරන්ටත් රජතුමා ප්‍රසන්නනම්, මාගේ ඉල්ලීම සහ අයදුම නම් රජ්ජුරුවන්ටත් හාමාන්ටත් මා විසින් පිළියෙළකරන මංගල්‍යයට ඔබ සහ හාමාන් එන ලෙසය, එවිට රජුගේ කීම ලෙස හෙට කරන්නෙමියි කීවාය. හාමාන්ද ඒ දවසේදී සන්තෝෂවී ප්‍රීතිමත් සිතකින් පිටතට ගියේය. එහෙත් හාමාන් තෙම රජවාසල උන් මොර්දෙකයි තමා ඉදිරියෙහි නැගිට්ටේවත් තමා සැලකුවේවත් නැති බව දැක ඔහු කෙරෙහි උදහසින් පිරුණේය. එසේ වුවත් ඔහු කෝපය සංසිඳුවාගන, ගෙට ඇවිත් තමාගේ මිත්‍රයන්ද තමාගේ භාර්යාවවූ සෙරෙෂ්ද කැඳවාගෙන, තමාගේ වස්තුවේ ඓශ්චර්යයද තමාගේ දරුවන් රාශියද රජ විසින් තමා උසස්කළ හැටිද රජුගේ අනික් අධිපතීන්ටත් සේවකයන්ටත් වඩා තමා ප්‍රධානකළ හැටිද යනාදිවූ සියල්ල පැවසුවේය.

එස්තර් 5:6-11 Sinhala New Revised Version (NRSV)

රජතුමා මිදියුස පානය කරමින් සිටිය දී එස්තර්ට කතා කොට, “ඔබේ ඉල්ලීම කුමක් ද? ඔබට එය දෙනු ලබන්නේ ය. ඔබේ අයැදුම කුමක් ද? රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද ඔබ ඉල්ලුවොත් එය ඔබට දෙන්නෙමි”යි කීවේ ය. එවිට එස්තර් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් වහන්සේගෙන් මට කරුණාව ලැබී තිබේ නම්, එසේ ම මා ඉල්ලන දේ දෙන්නත්, මාගේ අයැදුම ඉෂ්ට කරන්නත් රජතුමා ප්‍රසන්න වේ නම්, ඔබ තුමාටත්, හාමාන්ටත් මා හෙට පිළියෙළ කරන මංගල භෝජනයට ඔබ සහ හාමාන් පැමිණෙත්වා. එවිට රජුගේ කීම ලෙස හෙට මම කරන්නෙමි”යි කීවා ය. ඒ දවසේ දී හාමාන් ප්‍රීතිමත් සතුටු සිතකින් පිටත් ව ගියේ ය. එහෙත්, හාමාන් තෙම රජ වාසලේ දොරටුව ළඟ සිටි මොර්දෙකයි තමා එන විට නැඟිට්ටේ වත්, තමාට සැලකිල්ල දැක්වූයේ වත් නැති බව දැක ඔහු කෙරෙහි ඉතා කෝපාවිෂ්ට විය. එසේ වුවත්, ඔහු කෝපය සංසිඳුවාගෙන, ගෙට අවුත් තමාගේ මිත්‍රයන් ද තමාගේ බිරිඳ වන සෙරෙෂ් ද කැඳවාගෙන, තමාගේ වස්තුවේ යස ඉසුරු ගැන ද, දරුවන් සමූහය ගැන ද, රජු විසින් තමා උසස් කරනු ලැබූ හැටි ද රජුගේ සෙසු අධිපතීන්ටත් සේවකයන්ටත් වඩා තමා උසස් කරනු ලැබූ හැටි ද යනාදී සියල්ල ගැන පුරසාරම් දෙඩුවේ ය.