දානියෙල් 1:8-15

දානියෙල් 1:8-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එහෙත් දානියෙල්, රාජ භෝජනයෙන් හා රජුගේ මිදි යුෂවලින් තමා අපවිත්‍ර කර නො ගැනීමට අධිෂ්ඨාන කර ගත්තේ ය. එබැවින් එසේ අපවිත්‍ර නො වී සිටීමට ප්‍රධාන නිලධාරියාගෙන් ඔහු අවසර ඉල්ලී ය. ප්‍රධාන නිලධාරී වෙතින් ප්‍රසාදයත්, අනුකම්පාවත් දානියෙල්ට ලැබෙන්නට දෙවියන්වහන්සේ සැලසූ සේක. එහෙත් දානියෙල් ඇමතූ ප්‍රධාන නිලධාරී, “ඔබගේ ආහාරත්, පානත් නියම කළ මගේ ස්වාමියා වන රජ්ජුරුවන්ට මම භය ඇත්තෙමි. ඔබේ වයසේ සෙසු තරුණයින්ට වඩා ඔබ වැහැරී සිටිනු ඔහු දැකිය යුත්තේ ඇයි? එසේ වුවහොත් රජු, ඔබ නිසා මගේ හිස ගනු ඇතැ” යි පැවසී ය. පසුව දානියෙල්, හනනියා, මිෂායෙල් හා අසරියා සම්බන්ධ ව ප්‍රධාන නිලධාරී විසින් පත් කරන ලද භාරකාර නිලධාරී ඇමතූ දානියෙල්, “කරුණාකර, ඔබේ සේවක අප දහ දවසක් පරීක්ෂා කර බලන්න; අපට ආහාර වශයෙන් එළවළුත්, පානයට වතුරත් පමණක් දෙන්න. ඉන්පසු අපගේ ස්වභාව, රාජ භෝජන වළඳන තරුණයින්ගේ ස්වභාව හා සසඳා බලා, ඔබට පෙනෙන දේට අනුකූලව අප ගැන කටයුතු කරන්නැ” යි ඉල්ලී ය. එබැවින් ඊට එකඟ වූ ඔහු දහ දවසක් ඔවුන් පරීක්ෂා කළේ ය. දස දවස කෙළවරදී මොවුන්, රාජ භෝජන වැළඳූ අන් කවර තරුණයකුටත් වඩා සෞඛ්‍ය සම්පන්න ව පුෂ්ටිමත් ව සිටිනු පෙනිණි.

දානියෙල් 1:8-15 Sinhala Revised Old Version (SROV)

එහෙත් දානියෙල් රජුගේ භෝජනයෙන්වත් ඔහු බොන මුද්‍රිකපානයෙන්වත් අපවිත්‍ර නොවී සිටීමට තමාගේ සිතින් නියමකරගෙන, එසේ අපවිත්‍ර නොවී සිටින්ට නපුංසකයන්ගේ අධිපතියාගෙන් අවසර ඉල්ලුවේය. දෙවියන්වහන්සේ දානියෙල්ට නපුංසකයන්ගේ අධිපතියාගෙන් කරුණාවත් අනුකම්පාවත් ලැබෙන්ට සැලැස්වූසේක. නපුංසකයන්ගේ අධිපතීයා දානියෙල්ට කථාකොට: නුඹලාගේ කෑමද බීමද නියමකළ මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට භයවෙමි. නුඹලාගේ වයසේ යෞවනයන්ට වඩා නුඹලාගේ මුහුණු මලානිකව තිබෙනවා ඔහු දකින්නේ මක්නිසාද? එසේ නුඹලා නිසා මාගේ හිස රජු ඉදිරියෙහි උපද්‍රවයට පැමිණේයයි කීවේය. එකල දානියෙල්ද හනනියාද මීෂායෙල්ද අසරියාද කෙරෙහි නපුංසකයන්ගේ අධිපතියා විසින් පත්කළ ගබඩාකාරයාට දානියෙල් කථාකොට: නුඹේ මෙහෙකරුවන් දස දවසක් පරීක්ෂාකර බලන ලෙස ඉල්ලමි; කන්ට එලවලුද බොන්ට වතුරද අපට ලැබේවා. පසුව අපේ පෙනීමද රජුගේ භෝජන කන්නාවූ යෞවනයන්ගේ පෙනීමද නුඹ බලා, නුඹට පෙනෙන හැටියට නුඹේ මෙහෙකරුවන්ට කළ මැනවියි කීවේය. ඒ කාරණය ගැන ඔහු ඔවුන්ට ඇහුම්කන්දී, දස දවසක් ඔවුන් පරීක්ෂාකර බැලුවේය. දස දවසකට පසු රජුගේ භෝජනයෙන් කෑවාවූ සියලු යෞවනයන්ට වඩා ඔව්හු පෙනීමෙන් හොඳව, මාංසයෙන් තරව සිටියෝය.

දානියෙල් 1:8-15 Sinhala New Revised Version (NRSV)

දානියෙල් තෙමේ රජුගේ භෝජනයෙන් වත්, ඔහු බොන මිදියුසෙන් වත් තමා අපවිත්‍ර නොවී සිටින පිණිස අධිෂ්ඨාන කරගෙන, එසේ අපවිත්‍ර නොවී සිටීමට ප්‍රධාන නපුංසකයාගෙන් අවසර අයැද සිටියේ ය. දෙවියන් වහන්සේ දානියෙල්ට ප්‍රධාන නපුංසකයාගෙන් කරුණාවත්, අනුකම්පාවත් ලැබෙන්නට සැලැස්සූ සේක. ප්‍රධාන නපුංසකයා දානියෙල්ට මෙසේ කී ය: “ඔබේ කෑම ද බීම ද නියම කළ මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට මම බිය වෙමි. යම් හෙයකින් ඔබේ වයසේ තරුණයන්ට වඩා ඔබේ මුහුණ මැලවී ඇති බව එතුමාට පෙනී ගියොත්, මාගේ හිස ගසාදැමීමෙන් මා අනතුරට භාජනය විය හැකි ය.” එවිට දානියෙල් තමා ද හනනියා ද මිෂායෙල් ද අසරියා ද භාර ව සිටීමට ප්‍රධාන නපුංසකයා පත් කළ භාරකාරයාට කතා කොට, “ඔබේ මෙහෙකරුවන් වන අපට කෑමට එළවළු ද බීමට වතුර ද දී දස දිනක් ඇතුළත දී කුමක් වන්නේ දැ යි සෝදිසි කර බලන්න; ඉන්පසු අපේ පෙනීම ද රජතුමාගේ භෝජන අනුභව කරන තරුණයන්ගේ පෙනීම ද සසඳා බලා, ඔබට පෙනී යන හැටියට ඔබේ මෙහෙකරුවන්ට සුදුස්සක් කළ මැනවැ”යි කී ය. ඔහු ඒ යෝජනාවට එකඟ වී දස දිනක් තුළ ඔවුන් සෝදිසි කර බැලුවේ ය. දස දිනකට පසු ඒ සතරදෙනා රජතුමා නියම කළ භෝජන අනුභව කළ තරුණයන්ට වඩා හොඳ පෙනීමෙන් හා සනීප ශක්තියෙන් සිටින බව පෙනී ගියේ ය.