1 තෙසලෝනික 2:13-20

1 තෙසලෝනික 2:13-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අප වෙතින් ඔබ ඇසූ දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් කල, ඔබ එය පිළිගත්තේ මිනිසුන්ගේ වචනය ලෙසින් නො වේ; අදහන්නා වූ ඔබ තුළ ක්‍රියා කරන, එහි සැබෑ ස්වභාවයට අනුව දෙවියන්වහන්සේගේ ම වචනය ලෙසිනි. ඒ ගැන ද නිරතුරු අපි දෙවියන්වහන්සේට තුති පුදන්නෙමු. සහෝදරයිනි ඔබ, යුදයෙහි ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ සභාවන් අනුකරණය කරන්නන් බවට පත් ව ඇත්තේ එහි සභා, යුදෙව්වරුන්ගෙන් විඳි හිරිහැර ම ඔබත් ඔබගේ රට වැසියන්ගෙන් විඳීමෙනි. ඒ යුදෙව්වෝ යේසුස් ස්වාමින්වහන්සේත්, දිවැසිවරුනුත් මරා දමා, අපත් පලවා හළහ. ඔවුහු දෙවියන්වහන්සේ අමනාප කරවමින්, සියලු මිනිසුනට ද සතුරු ව ඇත්තේ, අන්‍ය-ජාතීන් ගැලවීම ලබන පිණිස ඔවුන්ට වචනය කතා කිරීමෙන් අප වැළැක්වීමෙනි. මේ අයුරින් ඔවුහු නිරතුරු තම පාප උපරිම සීමාව දක්වා ගොඩ ගසා ගනිති. අවසානයේදී දෙවියන්වහන්සේගේ උදහස ද ඔවුන් පිට වැටී ඇත. සහෝදරයිනි, සුළු කලකට සිතින් නො ව ගතින් ඔබ වෙතින් අප වෙන් කරනු ලැබ සිටියදී වුව, ඔබගේ මුහුණ දැකීමේ දැඩි ආශාවෙන් යුතු ව යළි ඔබ වෙත ඒමට අපි හැම උත්සාහයක් ම දැරීමු. ඔබ වෙත ඒමට අපට වුවමනා විණි. මම පාවුල්, ඔබ වෙත ඒමට යළි යළිත් උත්සාහ දැරීමි. එහෙත්, සාතන් අප වැළැක් වී ය. කෙසේ වෙතත්, යේසුස් අප ස්වාමින්වහන්සේ යළි පැමිණෙන කල, උන්වහන්සේ ඉදිරියේ අපගේ බලාපොරොත්තුව, අපගේ ප්‍රීතිය, අපගේ පාරට්ටුවේ කිරීටය කුමක් ද? ඔබ ම නො වේ ද? සැබවින් ම අපගේ ගෞරවයත්, අපගේ ප්‍රීතියත් ඔබ ම ය.

1 තෙසලෝනික 2:13-20 Sinhala Revised Old Version (SROV)

එසේහෙයින් නුඹලා පණිවිඩයේ වචනය, එනම් දෙවියන්වහන්සේගේ වචනය අපෙන් ලැබූ කල, නුඹලා පිළිගත්තේ මනුෂ්‍යයන්ගේ වචනය නොව ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ වචනයව තිබෙන්නාවූ, අදහන නුඹලා තුළ ක්‍රියාද කරන්නාවූ වචනය බැවින්, අපිත් නොකඩව දෙවියන්වහන්සේට ස්තුතිකරමුව. මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ යුදයෙහි තිබෙන දෙවියන්වහන්සේගේ සභාවන් අනුවයන්නෝවී, ඔවුන් යුදෙව්වරුන්ගෙන් වින්ද දේවල්ම නුඹලාත් නුඹලාගේම රටවැසියන්ගෙන් වින්දහුය. ඒ යුදෙව්වරු වනාහි ස්වාමිවූ යේසුස්වහන්සේද අනාගතවක්තෘවරුන්ද මැරුවෝය, අපත් පන්නාදැම්මෝය; ඔව්හු දෙවියන්වහන්සේ ප්‍රසන්න නොකරති, සියලු මනුෂ්‍යයන්ටද විරුද්ධව සිටිති; අන්‍යජාතීන් ගැළවෙන පිණිස ඔවුන්ට කථාකිරීම අපට තහනම්කරති. මෙසේ ඔව්හු නිතරම තමුන්ගේ පව් සම්පූර්ණ කරති. උදහස තීන්දුවටම ඔවුන් කෙරෙහි පැමිණ තිබේ. නුමුත් සහෝදරයෙනි, අපි හිතෙන් නොව පෙනීමෙන් නුඹලා වෙතින් ස්වල්ප කාලයකට අහක්ව සිටිය කල, නුඹලාගේ මුහුණ දකින්ට මහත් ආශාවෙන් බොහෝ උත්සාහකළෙමුව. මක්නිසාද අපි, එනම් පාවුල් යන මම, වරක් දෙවරක් නුඹලා වෙතට එන්ට කැමතිව සිටියෙමි; නුමුත් සාතන් අපට බාධාකළේය. අපගේ බලාපොරොත්තුවත් ප්‍රීතියත් පාරට්ටුවේ ඔටුන්නත් කිමෙක්ද? අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ඊමේදී උන්වහන්සේ ඉදිරියෙහි නුඹලාම නොවේද? එසේය, නුඹලා අපේ ගෞරවයත් අපේ ප්‍රීතියත්ය.

1 තෙසලෝනික 2:13-20 Sinhala New Revised Version (NRSV)

තවත් කරුණක් ගැන අපි දෙවියන් වහන්සේට නොකඩවා තුති පුදමු. දෙවියන් වහන්සේගේ පණිවුඩය අප ඔබ වෙත ගෙනා කල, ඔබ එය අසා පිළිගත්තේ මනුෂ්‍යයන්ගෙන් එන පණිවුඩයක් මෙන් නොව, ඇත්තෙන් ම දෙවියන් වහන්සේගෙන් ම එන පණිවුඩයක් හැටියට ය. මන්ද, අදහන ඔබ අතර ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේ ය. සහෝදරවරුනි, ක්‍රිස්තියානි සහභාගිකමට ඇතුළත් ජුදයේ දෙවියන් වහන්සේගේ සභාවන්ට සිදු වූ දෙය ම ඔබටත් සිදු විය. ඔවුන් ජුදෙව්වරුන්ගෙන් පීඩා ලැබූ ලෙස ම ඔබත් ඔබගේ ම රටවැසියන්ගෙන් පීඩා ලැබුවහු ය. ඒ ජුදෙව්වරු ජේසුස් ස්වාමීන් වහන්සේ ද, දිවැසිවරයන් ද මරණයට පත් කර, අප පලවා හැරියහ. ඔව්හු දේව කැමැත්තට පිටුපා සියලු මනුෂ්‍යයන්ට සතුරු ව සිටිති. විජාතීන්ට ගැළවීම සලසන පණිවුඩය දේශනා කිරීම පවා අපට තහනම් කර ඇත. මෙසේ ඔව්හු තමන්ගේ පාපවල කෙළවරට ම පැමිණ සිටිති. අවසාන කොට, දැන් දේව උදහස ඔවුන් පිට පැමිණ තිබේ. සහෝදරවරුනි, ටික කලකට අපි ඔබ ඇසින් නුදුටුවත්, සිතින් අමතක නොකෙළෙමු. ඒ කාලයේ දී ඔබගේ මුහුණ දැකීමට අපි ඉමහත් ආශාවකින් බොහෝ සේ උත්සාහ කෙළෙමු. ඔබ වෙත පැමිණීමට අපි පුල පුලා සිටියෙමු. ඇත්තට ම, පාවුලු වන මම කීප වරක් ම උත්සාහ කෙළෙමි. එහෙත් සාතන් අපට බාධා කෙළේ ය. අපගේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ ආගමනයේ දී, උන් වහන්සේ ඉදිරියෙහි අපගේ බලාපොරොත්තුවත්, ප්‍රීතියත් ප්‍රෞඪ කිරීටයත් කවරෙක් ද? ඔබ ම නොවන්නහු ද? එසේ ය, ඔබ අපගේ ගෞරවයත් ප්‍රීතියත් ය.

1 තෙසලෝනික 2:13-20 Sinhala New Revised Version 2018 (SNRV)