1 පේතෘස් 3:8-16

1 පේතෘස් 3:8-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අවසන් වශයෙන් ඔබ හැම, එකිනෙකා හා සමඟියෙන්, සානුකම්පිත ව, සහෝදර ප්‍රේමයෙන් යුතු ව, මෘදු හදවතින් හා නිහතමානී සිතින් සිටින්න. නපුරට නපුරවත්, නිග්‍රහයට නිග්‍රහයවත් නො කරන්න. එසේ නො කර, ඔබ කැඳවා ඇත්තේ ආශිර්වාදයක් උරුම කර ගන්නට බැවින් ආශිර්වාද කරන්න. මන්ද, “ජීවිතයට ප්‍රේම කරන්නට හා භාග්‍යවත් දවස් දකින්නට ආශා කරන කවරෙක් වුව, තම දිව නපුරෙන් ද තම තොල් රැවටිලි කතාවෙන් ද දුරුව තබා ගනිත්වා. ඔහු නපුරෙන් ඉවත හැරී, යහපත කළා වේ. ඔහු සාමය සොයා, එය ලුහුබැඳ ගියා වේ; මන්ද ස්වාමින්වහන්සේගේ ඇස්, ධර්මිෂ්ඨයින් වෙත ය; උන්වහන්සේගේ කන්, ඔවුන්ගේ යාච්ඤාවට විවෘත ය; එහෙත් නපුර කරන්නන්ට ස්වාමින්වහන්සේගේ මුහුණ විරුද්ධ ය.” යහපත කිරීමට ඔබ උද්යෝගී නම්, ඔබට අනතුරු කරන්නේ කවුරු ද? එසේ වුවත් ධර්මිෂ්ඨකම උදෙසා පීඩා විඳින්නට ඔබට සිදු වුවත්, ඔබ ආශිර්වාද ලබන්නේ ය. “ඔවුනට බය නො වන්න; නො කැලඹෙන්න.” ඔබේ හද තුළ ස්වාමින්වහන්සේ ලෙස ක්‍රිස්තුස්වහන්සේට ගෞරව කරමින්, ඔබට ඇති බලාපොරොත්තුව ගැන හේතු විමසන සැමට නිසි පිළිතුරු දීමට හැම විට සූදානමින් සිටින්න. එහෙත් ආචාරශීලී ව හා ගරු සැලකිල්ලෙන් යුතු ව එසේ කළ යුත්තේ, ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබගේ යහ පැවැත්ම ගැන පරිභව කරන්නන් ඔබට අපහාස කරන කල, ඔවුන් ලජ්ජාවට පත් වන පිණිස, පිරිසිදු හෘදය සාක්ෂියක් ඇති ව ය.

1 පේතෘස් 3:8-16 Sinhala Revised Old Version (SROV)

අවසානකොට, නුඹලා සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි දයාවෙන් යුක්තව, සහෝදර ස්නේහයද අනුකම්පාවද යටහත්කමද ඇතුව සිටින්න. නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකොට, නුඹලාට ආශීර්වාදයක් උරුමවෙන පිණිස කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාදම කරන්න. මක්නිසාද: ජීවිතයට ඇලුම්වෙන්ටත් යහපත් දවස් දකින්ටත් කැමති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද තමාගේ තොල් වංචා කථාකිරීමෙන්ද වලක්වාගනීවා. නපුරෙන් ඉවත්ව යහපත කරාවා; සමාදානය සොයා, එය පස්සේ දුවාවා; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ඇස් ධර්මිෂ්ඨයන් කෙරෙහිත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ කන්නලව්ව දෙසටත් යොමා තිබේ. නුමුත් ස්වාමීන්වහන්සේගේ මුහුණ නපුර කරන්නන්ට විරුද්ධව තිබේ. තවද නුඹලා යහපත් දෙය ගැන ජ්වලිතව සිටිහු නම්, නුඹලාට අනතුරු කරන්නේ කවුද? එහෙත් නුඹලා ධර්මිෂ්ඨකම නිසා දුක්විඳින නුමුත් ආශීර්වාදලද්දහුය. ඔවුන්ගේ භයගැන්වීමට භයවෙන්ටවත් කැලඹෙන්ටවත් එපා; නුමුත් නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේ කොට ක්‍රිස්තුස්වහන්සේට ගෞරවකරන්න. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තරදෙන්ට නිතර සෑදී සිටින්න, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය. නුඹලා නපුර කරන්නහුයයි නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන නුඹලාගේ යහපත් හැසිරීමට දොස්තබන්නන් ලජ්ජාවට පැමිණෙන පිණිස, යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින්න.

1 පේතෘස් 3:8-16 Sinhala New Revised Version (NRSV)

අවසාන කොට ඔබ සියල්ලෝ ම එක්සිත් ව ද සානුකම්පික ව ද සහෝදර ස්නේහය ඇති ව ද සිටින්න. දයාව ද යටහත්කම ද ඇති ව සිට, නපුරට නපුර වත්, නින්දාවට නින්දාව වත් නොකරන්න. ඒ වෙනුවට, ආශීර්වාදයක් උරුම වන පිණිස ඔබ කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාද ම කරන්න. ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත: “ජීවිතයට ප්‍රේම කරන, වාසනාවන්ත දවස් දැකීමට කැමැති තැනැත්තේ තමාගේ දිව නපුරෙන් ද තොල් වංචා සහගත වදනින් ද වළක්වාගනී වා! නපුරට පිටුපා යහපත කරා වා! සාමය සොයා එය ලුහුබඳී වා! මන්ද, ස්වාමීන්ගේ දෙනෙත් දමිටුන් දෙසටත්, දෙසවන් ඔවුන්ගේ යැදුම් දෙසටත් යොමා ඇත. එහෙත් ස්වාමීන්ගේ වත දුදනන්ට එරෙහි ව ඇත.” ඔබ යහපතට කැප වී සිටින්නහු නම් ඔබට අනතුරු කරන්නේ කවරෙක් ද? එහෙත් ඔබ දමිටුකම නිසා දුක් විඳින්නහු නම් ඔබ ආසිරි ලද්දහු ය. ඔවුන්ට බිය නොවී, නොකැළඹී සිටින්න. ඔබගේ සිතින් ක්‍රිස්තුන් වහන්සේට සමිඳාණන් වහන්සේ හැටියට, ගෞරව කරන්න. ඔබට ඇති බලාපොරොත්තුව ගැන ඔබෙන් ප්‍රශ්න කරන සියල්ලන්ට පිළිතුරු දීමට නිතර සූදානම් ව සිටින්න. එහෙත් ආචාරශීලී ව ද ගෞරවයෙන් යුක්ත ව ද එසේ කළ යුතු ය. ඔබ නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව සිටින්න. එවිට ඔබට අපහාස කරමින් ඔබට විරුද්ධ ව කතා කරන අය, ක්‍රිස්තුන් වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් ඔබේ යහපත් හැසිරීම දැක ලජ්ජාවට පැමිණෙනු ඇත.

1 පේතෘස් 3:8-16 Sinhala New Revised Version 2018 (SNRV)