1 කොරින්ති 4:1-7

1 කොරින්ති 4:1-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අප ගණන් ගනු ලැබිය යුත්තේ ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයින් හා දෙවියන්වහන්සේගේ අබිරහස් පිළිබඳ භාරකරුවන් වශයෙනි. තවද භාරකරුවන් විශ්වාසවන්ත වීම, අවශ්‍යයෙන් ම විය යුත්තකි. එහෙත් ඔබ හෝ මිනිසුන්ගේ යම් අධිකරණයක් මගින් හෝ මා විනිශ්චය කරනු ලැබීම, මට එතරම් දෙයක් නො වේ. ඇත්තෙන් ම මා විසින් ම මා විනිශ්චය කර ගන්නේ නැත. මට ම එරෙහි කිසිවක් ඇති වගක් මගේ හෘදය සාක්ෂියට නො දැනේ; එනිසා ම මා නිදොස් වන්නේ ද නැත. මා විනිශ්චය කරන්නේ ස්වාමින්වහන්සේ ය. එබැවින් කාලයට පෙරාතුව, ස්වාමින්වහන්සේගේ පැමිණීමට පෙරාතුව විනිශ්චය ප්‍රකාශ නො කරන්න. දැන් අන්ධකාරයේ සැඟවුණු දෑ, උන්වහන්සේ එළියට ගෙනැවිත්, හදවතේ අරමුණු එළිදරවු කරන සේක. එවිට තමාට හිමි පැසසුම දෙවියන්වහන්සේගෙන් හැම කෙනකු ම ලබනු ඇත. සහෝදරයිනි, අපොල්ලොස් හා මා අදාළ කරමින්, මා මේ සියල්ල ඔබගේ යහපත තකා ලීවේ, ලියා තිබෙන දේ ඉක්මවා නො යන පිණිස, ඔබ අපගෙන් ඉගෙන ගන්නා පිණිස ය. කෙනකුට එරෙහිව වෙනත් කෙනකු උදෙසා ඔබ උඩඟු නො වන පිණිස ය. මන්ද ඔබ තුළ යම් වෙනසක් දකින්නේ කවුරු ද? ඔබට දෙන ලද දේ හැරෙන්නට ඔබට ඇත්තේ මොනවා ද? එසේ එය ඔබට දෙන ලද්දේ නම්, එය නො ලද සේ පුරසාරම් දොඩන්නේ ඇයි?

1 කොරින්ති 4:1-7 Sinhala Revised Old Version (SROV)

මනුෂ්‍යයෝ අප ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයන් මෙන්ද දෙවියන්වහන්සේගේ රහස්වල ගබඩාකාරයන් මෙන්ද ගණන්ගනිත්වා. ඇරත් මෙහිදී ගබඩාකාරයන්ගෙන් ඕනෑකරන්නේ එක එක මනුෂ්‍යයා විශ්වාසව සිටීමය. නුමුත් නුඹලා විසින්වත් මනුෂ්‍ය විනිශ්චයෙන්වත් මා විනිශ්චයකරනු ලැබීම මට ඉතා සුළු දෙයක්ය. එසේය, මමම මා විනිශ්චය නොකරමි. මක්නිසාද මට විරුද්ධව කිසිවක් ඇති බව නොදනිමි; නුමුත් ඒ නිසාම නිදොස් නොවෙමි. මා විනිශ්චයකරන්නේ ස්වාමීන්වහන්සේය. එහෙයින් ස්වාමීන්වහන්සේ එන තුරු කාලයට පළමුවෙන් කිසිවක් විනිශ්චය නොකරන්න. උන්වහන්සේ අන්ධකාරයේ සැඟවුණු දේ එළිදරව්කොට, සිත්වල අදහස් ප්‍රකාශකරනසේක; එවිට එකිනෙකාට තම තමාගේ ප්‍රශංසාව දෙවියන්වහන්සේගෙන් ලැබෙන්නේය. ඉතින්, සහෝදරයෙනි, නුඹලා උදෙසා මේ දේ උපමාවකින් අපොල්ලොස්ටත් මටත් අදාළකොට කීමි. එසේ කරන්නේ ලියා තිබෙන දේ ඉක්මවා නොයන්ට නුඹලා අපෙන් ඉගෙනගන්නා පිණිසත් නුඹලාගෙන් කවරෙක්වත් එක්කෙනෙකු උදෙසා අනිකෙකුට විරුද්ධව උඩඟු නොවන පිණිසත්ය. මක්නිසාද නුඹට වෙනස් වෙන්ට සලස්වන්නේ කවුද? නුඹට ලැබුණ දේ හැර නුඹට ඇත්තේ කිමෙක්ද? ඉඳින් එය ලැබුණානම් නොලැබුණාක්මෙන් පාරට්ටුකරගන්නේ මක්නිසාද?

1 කොරින්ති 4:1-7 Sinhala New Revised Version (NRSV)

ඔබ අප ගැන සිතිය යුත්තේ, ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයන් ද දෙවියන් වහන්සේගේ අබිරහස් පිළිබඳ භාරකාරයන් ද හැටියට ය. භාරකාරයන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන් විශ්වාසවන්ත ව සිටී ම ය. එහෙත් ඔබ විසින් හෝ මනුෂ්‍ය අධිකරණයකින් හෝ මා විනිශ්චය කරනු ලැබීම, මා සලකන්නේ ඉතා සුළු දෙයක් ලෙස ය. තවද, මම මා ම විනිශ්චය කර නොගනිමි. මන්ද, මට විරුද්ධ ව කිසිවක් ඇති බව මම නොදනිමි. ඒ නිසා ම මම නිදොස් නොවෙමි. මා විනිශ්චය කරන්නේ සමිඳාණන් වහන්සේ ය. එබැවින් සමිඳාණන් වහන්සේ එන තුරු නියම කාලයට පෙර කිසි විනිශ්චයක් නොකරන්න. උන් වහන්සේ අඳුරෙහි සැඟවුණු දේ ආලෝකයට පමුණුවා, සිත් සතන්හි අදහස් හෙළි කරන සේක. එවිට හැම දෙනෙක් ම තම තමන්ට හිමි ප්‍රශංසාව දෙවියන් වහන්සේගෙන් ලබති. සහෝදරයෙනි, මම ඔබ උදෙසා මේ දේ උපමානුසාරයෙන්, අපොල්ලොස්ටත් මටත් අදාළ කොට කීමි. එසේ කීවේ නීතිරීති කඩ නොකිරීමට ඔබ අපෙන් ඉගෙනගන්නා පිණිසත්, ඔබෙන් කවරෙකු වත් එක් කෙනෙකු ගැන ආඩම්බර වී අන් කෙනෙකු හෙළා නොදකින පිණිසත් ය. ඔබට එතරම් ප්‍රමුඛත්වයක් දුන්නේ කවරෙක් ද? දෙවියන් වහන්සේ දුන් දේ හැර අන් කිසිවක් ඇද් ද? ඉතින්, එය දෙන ලද දෙයක් නම් ඔබ සතු දෙයක් සේ ම සලකා පාරට්ටු කරගන්නේ මන් ද?

1 කොරින්ති 4:1-7 Sinhala New Revised Version 2018 (SNRV)