YouVersion Logo
Search Icon

ජාකොබ් 1:2-12

ජාකොබ් 1:2-12 NRSV

මාගේ සහෝදරයෙනි, ඔබගේ ඇදහිල්ල පරීක්ෂා කරනු ලැබීමෙන් ඉවසිල්ල ඇති වන බව සිතට ගෙන, විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පාන කල එය වාසනාවකැ යි සලකන්න. ඔබ කිසිවකින් ඌන ව නොසිට, සියලු අයුරින් පරිපූර්ණ ව සිටින පිණිස ඉවසීමේ ගුණය සම්පූර්ණ ලෙස ක්‍රියා කෙරේ වා. ඔබගෙන් යමෙකුට ප්‍රඥාව නැත්නම්, ඔහු දෙවියන් වහන්සේගෙන් එය ඉල්ලා සිටී වා. එවිට සියල්ලන්ට නොමසුරුව, දොස් නොතබා දෙන දෙවියන් වහන්සේ එය ඔහුට ප්‍රදානය කරන සේක. එහෙත් සැක නොකර ඇදහිල්ලෙන් ඔහු එය අයැදී වා. මන්ද, සැක කරන තැනැත්තේ සුළඟින් කැළඹී නඟින බසින මුහුදු රැල්ලට සමාන ය. එබඳු මනුෂ්‍යයා තමාට සමිඳාණන් වහන්සේගෙන් කිසිවක් ලැබේ යයි නොසිතා වා. ඔහු සිත් දෙගිඩියාවෙන් පසුවන මනුෂ්‍යයෙකු ව තමාගේ සියලු ක්‍රියා මාර්ගවල දී අස්ථීර ව සිටින්නේ ය. පීඩිත තත්ත්වයක සිටින සහෝදරයා තමා උසස් කරනු ලැබීම ගැන ද, ධනපතියා තමා පහත් කරනු ලැබීම ගැන ද උදන් අනා වා. මන්ද, ධනවතා තණ මලක් මෙන් පහ ව යන්නේ ය. දැවෙන හිරු කිරණින් තණ කොළ වියළී යයි; ඒවායේ මල් පෙති වැටී යයි. එහි සෞන්දර්යය පහ වී යයි. එලෙස ම ධනවතා සිය උපාය මාර්ගවල දී මැල වී යයි. කම්කටොලු ඉවසන මනුෂ්‍යයා භාග්‍යවන්තයෙකි. මන්ද, ඔහු පරීක්ෂාවෙන් ජය ලැබූ කල, දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නවුන්ට උන් වහන්සේ පොරොන්දු වූ, ජීවන කිරීටය ලබන්නේ ය.

Video for ජාකොබ් 1:2-12