YouVersion Logo
Search Icon

දානියෙල් 2

2
නෙබුකද්නෙශර් රජ ස්වප්නයෙන් දුටු නානාවිධවූ රූපය සහ දානියෙල්ගේ විස්තරය
1නෙබුකද්නෙශර්ගේ රජකම් කිරීමේ දෙවෙනි අවුරුද්දේදී නෙබුකද්නෙශර් ස්වප්න දුටුවේය; එයින් ඔහුගේ ආත්මය කැලඹී, ඔහුගේ නින්ද ඔහුගෙන් පහව ගියේය. 2එවිට රජුගේ ස්වප්න රජුට දන්වන පිණිස මන්ත්‍රකාරයන්ටත් අනවිනකාරයන්ටත් මායාකාරයන්ටත් කල්දිවරුන්ටත් අඬගසන්ට රජ අණකෙළේය. ඔව්හු ඇවිත් රජු ඉදිරියෙහි සිටියෝය. 3රජද: මා ස්වප්නයක් දැක, ඒ ස්වප්නය දැනගන්ට මාගේ ආත්මය කැලඹී තිබේයයි ඔවුන්ට කීය. 4කල්දිවරු අරාම් භාෂාවෙන් රජුට කථාකර: රජ්ජුරුවෝ සදාකාලේටම ජීවත්වේවා. ඔබගේ මෙහෙකරුවන්ට ස්වප්නය කිව මැනවි, එවිට අපි අර්ථය තෝරාදෙන්නෙමුයයි කීවෝය. 5රජ තෙමේ කල්දිවරුන්ට උත්තරදෙමින්: කාරණය මාගෙන් පහව ගියේය. ස්වප්නයද එහි අර්ථයද නුඹලා මට නොදැන්නුවොත්, නුඹලා කැබෙලිකොට, නුඹලාගේ ගෙවල් කසළගොඩක් කරනු ලබන්නේය. 6එහෙත් ස්වප්නයද එහි අර්ථයද නුඹලා පෙන්වාදෙන්නහු නම්, නුඹලාට තෑගි හා විපාකද බොහෝ ගෞරවයද මාගෙන් ලැබෙනවා ඇත. එබැවින් ස්වප්නයද එහි අර්ථයද මට පෙන්වන්නැයි කීවේය. 7ඔව්හු දෙවෙනි වර උත්තරදෙමින්: රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරුවන්ට ස්වප්නය කියත්වා, එවිට අපි අර්ථය පෙන්වන්නෙමුයයි කීවෝය. 8රජ උත්තරදෙමින්: කාරණය මාගෙන් පහව ගිය බව නුඹලාට පෙනෙන හෙයින් නුඹලා කල් ගන්ට කැමැති බව සත්තකලෙසම දනිමි. 9නුඹලා ස්වප්නය මට නොදැන්නුවොත්, නුඹලාට ඇත්තේ එක නියමයක්ය. කාලය වෙනස්වෙන තුරු, නුඹලා මා ඉදිරියෙහි කියන්ට බොරුවූ ප්‍රයෝග වචන යොදාගන හිඳිනහුය. එබැවින් ස්වප්නය මට කියන්න, එවිට නුඹලාට එහි අර්ථය පෙන්වන්ට පුළුවන් බව මට දැනෙනවා ඇතැයි කීවේය. 10කල්දිවරු රජු ඉදිරියෙහි උත්තරදෙමින්: රජුගේ කාරණය පෙන්වන්ට පුළුවන් මනුෂ්‍යයෙක් පොළොව මතුපිට ඇත්තේ නැත. කිසිම රජෙක් හෝ අධිපතියෙක් හෝ ආණ්ඩුකාරයෙක් හෝ මෙවැනි කාරණයක් මන්ත්‍රකාරයෙකුගෙන්වත් අනවිනකාරයෙකුගෙන්වත් කල්දියයෙකුගෙන්වත් විචාරා නැත. 11රජ්ජුරුවන් විචාරන දේ ඉතා අමාරු එකකි, මනුෂ්‍යයන් සමඟ වාසය නොකරන දෙවිවරුන්ට මිස රජු ඉදිරියෙහි ඒක පෙන්වන්ට පුළුවන් වෙන කිසිවෙක් නැතැයි කීවෝය. 12එබැවින් රජ කිපී ඉතා උදහස්වී, බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් නැතිකරදමන්ට අණකෙළේය. 13මෙසේ ශාස්ත්‍රවන්තයන් මරන ලෙස නියෝග නිකුත්විය; එහෙයින් ඔව්හු දානියෙල් සහ ඔහුගේ සමාගම්කාරයන් මරන්ට සෙවුවෝය. 14එකල දානියෙල් බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් මරන පිණිස පිටත්ව ආ රජුගේ මුරකාරයන්ගේ ප්‍රධානියාවූ අරියොක්ට නුවණින්ද සිහියෙන්ද උත්තරදුන්නේය; 15ඔහු රජුගේ ඇමතියාවූ අරියොක්ට කථාකොට: මෙතරම් තද නියෝගයක් රජු වෙතින් පැමුණුණේ මක්නිසාදැයි ඇසුවේය. එකල අරියොක් ඒ කාරණය දානියෙල්ට දැන්විය. 16දානියෙල් ඇතුළට ගොස්, අර්ථය රජුට පෙන්වාදෙන පිණිස තමාට කල්දෙන හැටියට රජුගෙන් ඉල්ලුවේය.
17එකල දානියෙල් තමාගේ ගෙදරට ගොස්, තමාගේ සමාගම්කාරයන්වූ හනනියාටත් මීෂායෙල්ටත් අසරියාටත් ඒ කාරණය දන්වා, 18තමා සහ තමාගේ සමාගම්කාරයන් බබිලෝනියේ අනික් ශාස්ත්‍රවන්තයන් සමඟ විනාශ නොවන පිණිස, ඒ රහස ගැන ස්වර්ගයේ දෙවියන්වහන්සේගෙන් අනුකම්පාව ඉල්ලන්ට කීවේය. 19එවිට රාත්‍රියේ දර්ශනයකින් ඒ රහස දානියෙල්ට එළිදරව්විය. දානියෙල් ස්වර්ගයේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කෙළේය. 20දානියෙල් කථාකොට: දෙවියන්වහන්සේගේ නාමයට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා; මක්නිසාද ප්‍රඥාවත් බලයත් අයිති උන්වහන්සේටය. 21කාලවල්ද ප්‍රස්තාවල්ද වෙනස්කරන්නෙත් රජවරුන් පහකරන්නෙත් රජවරුන් පත්කරන්නෙත් ප්‍රඥාවන්තයන්ට ප්‍රඥාවද නුවණ ඇත්තන්ට දැනුමද දෙන්නෙත් උන්වහන්සේය. 22ගැඹුරුවූ රහස්වූ කාරණා එළිදරව්කරන්නෙත් අන්ධකාරයෙහි තිබෙන දේවල් දන්නෙත් උන්වහන්සේය, ආලෝකයද උන්වහන්සේ සමඟ වාසයකරන්නේය. 23මාගේ පියවරුන්ගේ දෙවියන්වහන්ස, ඔබ මට ප්‍රඥාවත් බලයත්දී, අප ඔබගෙන් විචාළ කාරණය දැන් මට දන්වාදුන් බැවින් ඔබට ස්තුතිකරමි, ප්‍රශංසාකරමි. මක්නිසාද ඔබවහන්සේ රජුගේ කාරණය අපට දැන්වූසේකැයි කීවේය. 24ඒ නිසා දානියෙල් බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් නැතිකරදමන්ට රජු විසින් පත්කරනු ලැබූ අරියොක් ළඟට ගොස් ඇතුල්වී, ඔහුට කථාකොට: බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් නැතිකර නොදමා, රජු ඉදිරියට මා පමුණුවන්න, ඒ අර්ථය රජුට පෙන්වමියි කීවේය.
25එකල අරියොක් තෙමේ දානියෙල් රජු ඉදිරියට ඉක්මනින් කැඳවාගෙන ගොස්, රජුට කථාකොට: යූදා රටෙන් අල්ලාගන ආ තැනැත්තන් අතරෙහි රජුට අර්ථය දන්වන මනුෂ්‍යයෙක් මට සම්බවීයයි කීවේය. 26රජ තෙමේ බේල්ටෙෂශර් නම්වූ දානියෙල්ට කථාකොට: මා විසින් දුටු ස්වප්නයත් එහි අර්ථයත් මට දන්වන්ට නුඹට පුළුවන්දැයි ඇසුවේය. 27දානියෙල් රජු ඉදිරියේ උත්තරදෙමින්: රජු විචාළ රහස රජුට පෙන්වන්ට ශාස්ත්‍රවන්තයන්ටවත් අනවිනකාරයන්ටවත් මන්ත්‍රකාරයන්ටවත් පේනකියන්නන්ටවත් නුපුළුවන; 28නුමුත් රහස් එළිදරව්කරන දෙවිකෙනෙක් ස්වර්ගයෙහි සිටිනසේක, උන්වහන්සේ මතු දවස්වල සිද්ධවෙන්ට තිබෙන කාරණා නෙබුකද්නෙශර් රජුට දන්වා තිබේ. ඔබගේ ස්වප්නයද ඔබගේ යහනේදී පැමුණුණ ඔබගේ හිසේ දර්ශනද මෙසේය: 29රජ්ජුරුවෙනි, ඔබට වූකලී, මින්මතු සිද්ධවෙන්ට තිබෙන කාරණා ගැන ඔබගේ යහනේදී සිතිවිලි හටගත්තේය. රහස් එළිදරව්කරන තැනන්වහන්සේ සිද්ධවෙන්ට තිබෙන කාරණා ඔබට දන්වා තිබේ. 30මටත් මේ රහස එළිදරව්වුණේ ජීවත්ව සිටින සියල්ලන්ට වඩා මට ප්‍රඥාව තිබෙන නිසා නොව, අර්ථය රජුට දන්වනු සඳහාත් ඔබගේ සිතේ සිතිවිලි ඔබ දැනගන්නා පිණිසත්ය. 31රජ්ජුරුවෙනි, ඔබ මහත් රූපයක් දුටුවෙහිය. ඒ රූපය මහත්ව ඉතා දීප්තිමත්ව තිබුණේය, ඒක ඔබ ඉදිරියෙහි සිටියේය; ඒකේ පෙනීමද භයංකරය. 32ඒ රූපයේ හිස අනර්ඝ රත්රන්ව, ඒකේ ළය සහ අත් රිදීව, ඒකේ බඩ සහ කළවා පිත්තලව, 33ඒකේ කෙණ්ඩා යකඩව, ඒකේ පාදවලින් කොටසක් යකඩව කොටසක් මැටිව තිබුණේය. 34අතින් නොකැපූ ගලක් ගැළවී ඇවිත් රූපයේ යකඩ සහ මැටිවූ පාදවලට ගසා ඒ පොඩිකරන තුරු, ඔබ බලාසිටියෙහිය. 35එකල යකඩද මැටිද පිත්තලද රිදීද රත්රන්ද එකවිටම පොඩිවී, ග්‍රීෂ්ම කාලයේ පාවරවල බොල් මෙන් වී, ඒවා කිසිම ස්ථානයක නොතිබෙන ලෙස සුළඟට ගසාගනගියේය. රූපයට ගැසූ ගලද මහත් කන්දක් වී, මුළු පොළොව එයින් පිරුණේය. 36ස්වප්නය ඒකය; එහි අර්ථය රජු ඉදිරියේ කියන්නෙමුව. 37රජ්ජුරුවෙනි, ඔබ රජවරුන්ගේ රජය, මක්නිසාද ස්වර්ගයේ දෙවියන්වහන්සේ රජකමද බලයද පරාක්‍රමයද ඓශ්චර්යයද ඔබට දී තිබේ. 38මනුෂ්‍ය පුත්‍රයන් වසන සෑම තැන්වලම සිටින වන මෘගයන්ද ආකාශ පක්ෂීන්ද ඔබ අතට දී, ඔවුන් සියල්ලන් කෙරෙහි ඔබ ආණ්ඩුකාරයා කළ සේක. රත්රන් හිස නම් ඔබය. 39ඔබට පසුව ඔබට වඩා පහත්වූ වෙන රාජ්‍යයක්ද ඉන්පසු මුළු පොළොව කෙරෙහි ආණ්ඩුකරන්නාවූ පිත්තල වැනිවූ තුන්වෙනි රාජ්‍යයක්ද නැගී එන්නාහ. 40සතරවෙනි රාජ්‍යය යකඩ මෙන් බලවත්වන්නේය. මක්නිසාද යකඩ සියල්ල පොඩිකර සුණුකරයි. යකඩෙන් සුණුකරන්නාක් මෙන් ඒ රාජ්‍යය ඒ සියල්ල පොඩිකර සුණු කරනවා ඇත. 41පාදවලින්ද පාද ඇඟිලිවලින්ද කොටසක් කුම්භකාරයාගේ මැටිත් කොටසක් යකඩත් බව ඔබ දුටුහෙයින්, ඒ රාජ්‍යය බෙදී තිබෙනවා ඇත; නුමුත් යකඩ මැටි සමඟ මිශ්‍රව තිබෙනවා ඔබ දුටු හෙයින්, යකඩවල සවිය ඒක තුළ වන්නේය. 42පාදවල ඇඟිලිවලින් කොටසක් යකඩව කොටසක් මැටිව තිබුණාක්මෙන්, ඒ රාජ්‍යයෙන් කොටසක් සවිවන්නේය, කොටසක් බිඳී යන්නේය. 43යකඩ මැටි සමඟ මිශ්‍රව තිබෙනවා ඔබ දුටු හෙයින්, ඔව්හු මනුෂ්‍ය ජාතීන් සමඟ මිශ්‍රවන්නෝය; එහෙත් යකඩ මැටි සමඟ මිශ්‍ර නොවන්නාක්මෙන් ඔව්හු එකිනෙකාට ඇලී නොසිටින්නෝය. 44ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවියන්වහන්සේ කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවනසේක, ඒකේ ආණ්ඩුව අන් සෙනඟකට අත්අරිනු නොලබන්නේය; 45අතින් නොකැපූ ගලක් කන්දෙන් ගැළවී ඇවිත් යකඩද පිත්තලද මැටිද රිදීද රත්රන්ද පොඩිකරනවා ඔබ දුටු හෙයින්, ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩිකර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය. මහෝත්තම දෙවියන්වහන්සේ මතු සිද්ධවෙන්ට තිබෙන කාරණා රජුට දන්වා තිබේ. ස්වප්නය සැබෑය, එහි අර්ථයද සත්තකයයි කීවේය. 46එකල නෙබුකද්නෙශර් රජ මුහුණින් වැටී, දානියෙල්ට වැඳ, ආහාර පූජාවක්ද සුවඳ ද්‍රව්‍යද ඔහුට පූජාකරන්ට අණකෙළේය. 47රජ දානියෙල්ට කථාකොට: සැබවින්ම නුඹලාගේ දෙවියන්වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේය, රජවරුන්ගේ ස්වාමීන්වහන්සේය, රහස් එළිදරව්කරන තැනන්වහන්සේය, මක්නිසාද මේ රහස එළිදරව්කරන්ට නුඹට පුළුවන්වීයයි කීවේය. 48එකල රජ දානියෙල් උතුම්කොට, මහත්වූ බොහෝ තෑගි ඔහුට දී, ඔහු මුළු බබිලෝනි පළාත කෙරෙහි ආණ්ඩුකාරයාද බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් කෙරෙහි ප්‍රධාන අධිපතියාද කෙළේය. 49දානියෙල්ගේ ඉල්ලීම පිට රජ බබිලෝනි පළාතේ කාරණා කෙරෙහි ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද පත්කෙළේය. දානියෙල් වනාහි රජවාසලෙහි සිටියේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in