සාවුල් මේ වචන ඇසූ විට දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු කෙරෙහි පිහිටිණි. ඔහු අතිශයෙන් කෝපාවිෂ්ට වුණේ ය. එවිට ඔහු ගොන් බානක් ගෙන උන් කැබලිවලට කපා, “සාවුල් ද සාමුවෙල් ද කැටුව යුද්ධයට යමෙක් නොයනු ඇද්ද ඔහුගේ හරකුන්ට මෙසේ ම කරනු ලැබේ ය” කියා ඒ කැබලි පණිවුඩකාරයන් අත ඉශ්රායෙල්වරුන්ගේ සියලු පළාත්වලට යැවී ය. එවිට සෙනඟ පිට සමිඳාණන් වහන්සේ කෙරෙහි භීතියක් පහළ වී ඔව්හු සියලු දෙනා එක් කෙනෙකු මෙන් පිටත් ව ආවෝ ය.